Tuesday, January 17, 2017

තවත් සුන්දර උදෑසනක්!

අද 2017 ජනවාරි 18. දැන් උදේ 7.45 යි...
ඉස්සරහා දොරත් එක්කම අවකාශය අත්පත්කරගෙන තියෙන ඇට්ටේරියා ගහේ අතු ඉති සීතල මද සුළඟට නටනවා. ඊයේ රාත්‍රිය පුරා සුවඳ විහිදුවාලූ ලස්සන පුංචි ඇට්ටේරියා මල් ඒ අතරින් හිනා වෙවී එබිලා බලනවා වගෙ. මිහිරි කුරුළු හඬ මේ අලුත් දවස එයාලගෙම කරගෙන.
අපේ ගෙවත්ත පර්චස් කීපයක වදුලක්, කතාකරන ගස්! එක එක වර්ගයෙ කුරුල්ලො වරින් වර ඇවිත් ගහක අතුපතර ගිමන් හැරලා, ගෙඩියක මලක රස විඳලා පවන් රැළි එක්කම කොහේදෝ ඇදිලා යනවා. එයාලා එන්නෙ කොහෙන්ද, යන්නෙ කොහාටද? හොරෙන් ගිහිං බලන්න හිතෙනවා.
වෙලාවක් හම්බවෙන හැම හැන්දෑවකම, පුරුද්දක් විදිහට මම ගෙවත්තෙ තුරු වදුලට වතුර දානවා, හැඩකාර දඟකාර සුටික්කො දෙතුන් දෙනෙක් එතකොටම ඇවිත් ඇට්ටේරියා ගහේ අතු පතර හැංගිලා ගයන්න පටන් ගන්නවා. මම වැස්සක් වැටෙන විදිහට ඒ පැත්තට වතුර විසුරුවනවා, උඩින්. එයාලා ප්‍රබෝධයෙන් නාන්න පටන් ගන්නවා, ස්වභාව ධර්මය! නුඹ කෙතරම් චමත්කාරජනක ද?
ඒ අස්සෙ, පිටිපස්සෙ බිත්තියක රන් කුඹලෙක් හෙමින් හෙමින් එයාගෙ ලස්සන නිවහන හදන හැටි මම දවස් ගණනක් බලාගෙන හිටියා, දැන් නං වැඩ ඉවරයි, එයාලා පදිංචිත් වෙලා.
මේ ළඟදී දවසක, මම අහම්බෙන් හෙවනැල්ලක් වගෙ දැක්ක, ගෙයි පිටිපස්ස දොරෙන් කවුරු හරි ඇතුළට ආවා, මම හෙමින් ගිහින් බැලුවා. ඔබ දන්නවාද? වඳුරෙක් හොරාට ඇවිත් පැන්ට්‍රියෙ තට්ටුවක තිබුණු කෙසෙල් ඇවරියකින් කෙසෙල් ගෙඩියක් කඩාගෙන කිසි කලබලයක් නැතුව කනවා, හැබැයි මාව දැකලා පැනලා ගියා. මම ඒ කෙසෙල් ඇවරිය අරගෙන, එතකොටත් ඒ ළඟ කරපිංචා ගහට ගොඩවෙලා හිටිය එයාට පෙන්නුවා. අනේ ඒ බැල්ම! ''ඇත්තට දෙනවද?'' වගෙ ආයාචනාවක් ඒ මුහුණෙ තිබුණෙ. අපි ඉතිං යාළු වුණා, තවම ඉඳ හිට මේ පැත්තෙ එනවා කෙසෙල් කන්නම.
ම්...අර! පුංචි ගොළුබෙල්ලෙකුත් කොහේදෝ ලොකු ගමනක් යන්න පටන් අරන්, අඩි හයක විතර කොන්ක්‍රීට් තලයක් මාරුවෙන්න, අනේ මෙයා ගන්න වෙලාව. හදිසියේ ඒ අතර මතුවෙන පළගැට්ටෙක්, මකුළුවෙක්, කකුල් පේළි මත ඇදෙන ගරුඩෙක්...එක එක මාදිලියේ කූඹි. තවත් බොහෝ අය. ඇහැට පෙනෙන, නොපෙනෙන සත්තු කොච්චරද?
අසිරිමත් ජෛව ගෝලය!
ඒත් අපි, මිනිස්සු මේ මුළු ලෝකයම අපේ කරගෙන, අපට ඕන විදිහට විනාශ කර කර පාලනය කරනවා. අපට කවදාවත් තේරුම් ගන්න බැරි තිත්ත ඇත්ත තමයි අපට විතරක් පවතින්න බැහැ! කියන එක.
අනේ කුරුල්ලනේ! උඹලා ගයන ඔය ගී මේ අපේ මිනිස්සුන්ට යන්තං හරි එහෙනවා නං!
CHAPA

 

No comments:

Post a Comment