Tuesday, January 31, 2017

අගය කරන්න!

ඔව්! ඔබට දැනෙන විදිහ හරි! අද තවත් අලුත් දවසක්!
ඔබ අනිත් අයට උදව් කරන කෙනෙක් ද? අනිත් අය ඔබට උදව් කරනවා ද? උදව් කිව්වට මොකක් හරි පුංචි දෙයක් වෙන්නත් පුළුවං. ඔබට, ඔහු හෝ ඇය කරන්න බැඳිලා තියෙන රාජකාරියක් වගෙ දෙයක් වෙන්නත් පුළුවං. උදාහරණයක් විදිහට ඔබ මිලක් ගෙවලා තේ කෝප්පයක් බොන්න හදන වෙලාවක් ගැන හිතන්න. එක්කෝ ඔබේ කාර්යාලයෙ සහායකයෙක් ඔබට වතුර එකක් ගෙනත් දෙන අවස්ථාවක් මවා ගන්න. ඔබ ඒ වගෙ වෙලාවක ඒ සහය අගය කරන්න පුරුදුවෙන්න ( දැනට එහෙම කරන්නෙ නැත්තං ! ).
ඔබට, කෙනෙක් උදව්වක් කෙරුවොත් අනිවාර්යයෙන්ම ස්තුති කරන්න, අගය කරන්න. මුළු හිතෙන්ම ඒක කරන්න, නිකං බොරුවට නෙවෙයි, අනෙකාට දැනෙන්නම. ගෙදරදි හෝ නෑ සිය හිත මිතුරන් අතරෙදිත් මේ ''අගය කිරීම'' අතිශය වැදගත්. ඔබට කෙනෙක් කෑමක් බීමක් හදලා දෙනකොට, එය රස බවත් ඔබ එය පුදුම විදිහට විඳින බවත් කියන්න අමතක කරන්න එපා, පොඩි පොඩි අඩුපාඩු තිබුණත්. මේ අගය කිරීම වචන නැති ඉඟියක් වුණත් කමක් නැහැ. හැබැයි අනෙකාට දැනෙන්න ඕනෙ. සමහරු වචන වලින් නිකං පුරුද්දට වගෙ එහෙම කරනවා, ඒත් අදාළ පාර්ශවයට දැනෙන්නෙ නැහැ.
උත්සහ කරලම බලන්න!
ඒ අතරෙ, හිතන්න, කෙනෙක් කිව්වොත්, ''මම අද මෙතැන ඉන්නෙ ඔයා නිසා...ඒ කරපු උදව්  කවදාවත් අමතක වෙන්නේ නැහැ!'' කියලා, ඔබට දැනෙන සතුට කොහොමද? ඔබත්, ඔබට සම්බන්ධ අයව එහෙම අගය කරන්න. හුඟාක් අයට ඔහොම අගය කරන්න හිතෙන්නෙ අදාළ කෙනා ආයෙ නොඑන්නම, යන්න ගියහම. ඉතිං පමා වෙන්න එපා.
හැබැයි එකම ප්‍රශ්නය, අපි සාමාන්‍යයෙන් මෙහෙම සංස්කෘතියක් ගැන එච්චර හිතන්නෙ නැති නිසා, ඔබ කෙනෙකුට ස්තුති කරනකොට හෝ අගය කරන කොට, මං එහෙනං මොකක් හරි ලොකු වැඩක් මෙයාට කරනවා වෙන්න ඇති, මෙහෙම කියන්නෙ, මාව අන්ඳන්න තමයි! කියලා ඒ කෙනාට හිතෙන්නත් ඉඩ තියෙනවා.
පුංචි ළමයින්ගෙන් නං ප්‍රශ්න නැහැ. එයාලා අහිංසකයි - හරිම ආසයි, එයාලව නං හැම විදිහකටම ලෝබ නැතුව අගය කරන්න.
කොහොමත්, එකිනෙකා අගය කරන ලෝකය කොච්චර සුන්දර වේවිද?
බලන්නකො ඉතිං අත් විඳලම, වියදමක් නැහැනෙ...
CHAPA

No comments:

Post a Comment