Monday, January 30, 2017

රංජන් ට ලියමි!

හිතවත් රංජන්,
මේ මොහොත වනවිට, ඔබත් ලංකාවෙ ජනමාධ්‍යයට උණුසුම් ප්‍රවෘත්ති මවන්නෙක් බවට වෙලා. ඔබ මවන අලුත්ම ප්‍රවෘත්තිය, දිවුලපිටිය, දූනගහ, අකරපිටිය ප්‍රදේශයේ පස් ජාවාරමකට සම්බන්ධයි.
ඇත්තටම එදා ඔබ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරන්නෙ අතිශය වැදගත් කාරණයක්. ඔබ ඒ මොහොතේ ආවේගශීලී නොවී සහ ප්‍රාථමික භාෂා භාවිතයකට නොගොස් ඇය ප්‍රශ්න කළා නං තත්වය වෙනස් අතකට හැරෙන්න ඉඩ තිබුණා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය තුළ, දේශපාලන බල අධිකාරිය සහ නිලධාරී යාන්ත්‍රණය අතර ගොඩ නැගෙන්න ඕන විධිමත් සහ විද්‍යාත්මක සහසම්බන්ධයට අපි තවම - කොහෙත්ම සුදානම් නැහැ, අනෙක් හුඟාක් රටවල්වල වගේම. ඒ අතර, විධායක ජනාධිපති ආකෘතිය සහ පාර්ලිමේන්තුක්‍රමය අතර අඳුරේ අත පත ගාන රටක, පාර්ලිමේන්තු නියෝජිතයෙක් විදිහට ඔබට ඔහොම හිතෙන එක සාධාරණයි.
ජනවාරි 26 ( 2017 ) රාත්‍රී 9.30 ට, ඔබ නිසා 'හිරු' නාලිකාව මවන අදාළ ප්‍රවෘත්තිය වෙනුවෙන් මම fb wall හි පළ කළ මේ කෙටි සටහන දැන් කියවන්න;
( උපුටා දැක්වීම )

රංජන්! අපි - අපි හොම්බට ඇන ගනිමු ද ?

රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කරන වැඩ ගැන, ඕන නං කෙනෙකුට ''ගොන්ජාගෙ ගොන් වැඩ!'' කියලත් හිනාවෙලා නිකං ඉන්න පුළුවං. ඔය චණ්ඩි පාට් මොකද අර්ජුන් මහේන්ද්‍රන්ලාට දාන්නෙ නැත්තෙ කියලත් කෙනෙක් උපහාසයෙන් ප්‍රශ්න කරන්න පුළුවං. හැබැයි එක දෙයක් අපි කාටවත් සුළු කොට තකන්න බැහැ. මේ ස්වභාවධර්මය විනාශකිරීමක්! කවුරු මොනවා කිව්වත්, මේ මහා පාරිසරික(?) විනාශය බලන් ඉන්න, මිනිස්සු හැටියට අපට බැහැ. විල්පත්තු මහා වන විනාශය ඇතුළු එවැනි සිද්ධීන් ගණනාවක් මේ වනවිට රට වටේ සිද්ධවෙනවා, මේකත් එකක්. JR ලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා, මහින්දලා, මෛත්‍රී - රනිල් ලා...මේ සේරම - මේ පොළොව නුහුලන අපරාධ වලට වග කියන්න ඕනෙ.
රංජන් කරන වැඩේ මොකක් වුණත්, දැන් ප්‍රශ්නය, ඔහු රාජ්‍ය නිලධාරිනියකට බැන්නා! කියන එකද? මහා පස් ජාවාරමක් සිද්ධවෙනවා! කියන එකද? මේ වනවිට ඇත්ත ප්‍රශ්නය අර පස් වලටම වැටිලා. රංජන්ට විරුද්ධව පස් හොරු සහ ගෝල බාලයො පෙළපාළි යන්න අරං. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගත් ගන්නවා ලු!රංජන් කරන්නෙ රඟපෑමක් නිසා, වන්දි කතා කෙසේ වෙතත්, ඔහුට මේ විරෝධය හොඳ වුණත්, අන්තිමට රටට එරෙහි වනචාරී නිලධාරී මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා.
දේශපාලන බල අධිකාරිය රංජන්කරණය හෝ තෙවරප්පෙරුමකරණය කරලා, ජනබලය ජෝක් කරනකොට, ජනයාගෙ බදු මුදලින් නඩත්තු වන නිලධාරී යාන්ත්‍රණය ජනයාට එදිරිව වැඩකරන්න පටන් ගන්නවා.
එතකොට රංජන්, හොම්බට ඇන ගන්න වෙන්නෙ මහ ජනයාටම - තම තමන්ටම තමයි!හැබැයි ස්වභාව ධර්මය මිනිස්සුන්ගෙ හොම්බට අනින්න පටන් ගන්නකොට මේ එකෙකුටවත්, එකෙක්වත් බේරගන්න වෙන්නෙ නැහැ!
මතක තිය ගනිල්ලා!
CHAPA
( උපුටා දැක්වීම අවසන් )
රංජන්!
මේ සටහනේ අන්තර්ගතය ගැන සීරුවට හිතන්න!
ඔබ කෙරුවෙ, වැඩ නොකරන සහ විවිධ දුෂණ වලට සම්බන්ධ නිලධාරීන්ට ''හොඳ අවස්ථාවක්'' ලබා දීම. දැන් ජනමාධ්‍ය හරහා සංවිධානය වන විවිධ මට්ටම්වල නිලධාරීන් සහ ඔවුන්ගෙ ගෝල බාලයන් ඔබට විරුද්ධව වැඩ වරමින් සහ උද්ඝෝෂණය කරමින් ''සියලු පව් (?)'' වලින් නිදහස් වෙනවා. දැන් කෙනෙකුට ඇහෙන්නෙ - පේන්නෙ, අනේ! හොඳට වැඩ කරගෙන ගිය උගත් - බුද්ධිමත් නිලධාරීන්ට, දේශපාලනය දන්නෙ නැති, ඇඟ විතරක් තියෙන අර මෝඩ නළුවා, අපහාස කරනවා, අපොයි! වැඩක් හරියට කරන්න දෙන්නෙ නැහැ! වගේ කතාවක්.
සමහරවිට ඔබ, ජනාධිපතිවරයාගෙ හෝ අගමැතිවරයාගෙ මොකක් හරි කොන්ත්‍රාත්තුවකට මෙහෙම දේවල් කරනවාද දන්නෙ නැහැ. එහෙම නැත්තං, තමන්ගෙ ජනප්‍රියත්වය සහ තෘප්තිය වෙනුවෙන් මෙහෙම දේවල් කරනවා වෙන්නත් පුළුවං.
කොහොමත් ඔබ ඇඟේ හයියෙන් දේශපාලනය කරන්න පුළුවං කියලා හිතන කෙනෙක්. ඔබට මතකද, අවස්ථා දෙකකදි, පිළිවෙළින් මොරටුවේ දී සහ කොළඹ දි, අපි දෙන්නා පෞද්ගලිකව මුණ ගැහිලා දීර්ඝ වශයෙන් මේ වගෙ දේවල් කතා කෙරුවා, ඔබ ඡන්දය ඉල්ලන්න කලින්. ඔබ ඒ කාලයෙ විදේශගත ශ්‍රමිකයන්ගෙ ප්‍රශ්න 'මාර්කට්' කරනවා. අපි, වඩා විධිමත් දේශපාලන මැදිහත්වීමක් ගැන හිතන්න ඕන කියලා ඔබට එදා යෝජනා කෙරුවත්, ඔබට ඒ යෝජනාව ආකර්ශනීය වුණේ නැහැ.
ඔබ වෙනුවෙන්, මේ සටහන ලියන්න කාලය වැයකරන්නෙ, ඔබ තුළ, සමාජය වෙනුවෙන් ''මොකක් හරි වැඩක්'' කරන්න ඇත්ත උවමනාවකුත් තියෙන වග පේන හින්දා, අනෙක ඔබ දුෂණ, වංචා සහ අක්‍රමිකතාවලට ( ඍජුව?) සම්බන්ධ නැහැ කියලත් හිතනවා. එහෙම නං ඔබ කුමන පක්ෂයක් නියෝජනය කෙරුවත්, ඔබට තියෙන ජනප්‍රියත්වය හරහා, පොදු  සමාජය වඩා යහපත් පැත්තට තල්ලු කරන්න 'යමක්' කරන්න පුළුවං. ඒත්, ඔබ මේ ගැන මීට වඩා බරපතළ විදිහට හිතන්න ඕනෙ.
එක පැත්තකින් ඔබ බාල ජනප්‍රිය වැඩත් කරනවා. විමල් වීරවංශ සහ ඔහුගෙ බිරිඳ සම්බන්ධයෙන් ඔබ කළ ප්‍රකාශ එක උදාහරණයක් විතරයි. ඊළඟට, ඔබ දුෂණ විරෝධී ස්ථාවරයක හිඳිනා බව පෙන්වමින්, මහ බැංකු බැඳුම්කර සිද්ධිය වගෙ, මහා පරිමාණ ආර්ථික මංකොල්ල මගහරිනවා. දිවුල පිටියෙ පස් ජාවාරමට එදිරිවන ඔබ විල්පත්තු මහා වන විනාශය නොදකින්නෙ ඇයි? වගෙ ප්‍රශ්නත් ඔබේ විශ්වසනීයත්වය අභියෝගයට ලක් කරනවා.
දැන් ඇති! කැමති නං උත්සහ කරලා බලන්න!
එක්කෝ ඇත්ත දේශපාලන මැදිහත්වීමක් කරලා ඉතිහාසයට සාක්ෂියක් දෙන්න, නැත්තං, මර්වින් සිල්වාටත් වඩා කුණු වෙලා ඉතිහාස කුණු බක්කියට වැටෙන්න!
ස්තුතියි!
CHAPA

No comments:

Post a Comment