Wednesday, January 11, 2017

විමල්! 

විමල්!
ඔබ දැන් ඉන්නෙ රිමාන්ඩ් බන්ධනාගාරයෙ. මේ වෙලාව හොඳයි 'ඔබ' ගැන ඔබට කියන්න!
මුලින්ම කියන්න ඕනෙ, ඔබ මෙහෙම හිර කරන්නෙ, ඔබ කළ බව කියන මොකක් හරි නීති විරෝධී කටයුත්තක් නිසා නෙවෙයි. ඔබ ඇතුළු යම් පිරිසක් මෛත්‍රී - රනිල් ආණ්ඩුවට මේ මොහොතේ බාධාවක්ව ඉන්න නිසා. මම එහෙම කියන්නෙ, දුෂණ, වංචා සහ අක්‍රමිකතා සඳහා නං මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ, හිටපු ජනාධිපතිවරිය චන්ද්‍රිකාගේ සිට පුංචිම පුංචි රාජ්‍ය සේවකයා දක්වා වූ, රාජ්‍ය බලයේ හිටපු සහ රාජ්‍ය බලයේ ඉන්න අති බහුතරයක් ඉන්න ඕනෙ හිර ගෙවල් ඇතුළෙ. ඔබ, ඔය කියන රජයේ වාහන අව භාවිතය කරන්න ඇති, තවත් ජනතා විරෝධී දේවල් කරන්නත් ඇති. ඒත් ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ වෙලාවෙ, රාජ්‍ය සුක්කානම අතේ තියෙන අයට ඔබ එක විදිහක බාධාවක්. කොහොම වුණත් බය වෙන්න දෙයක් නැහැ, ලොකු දෙයක් වෙන්නෙ නැහැ - යම් සංදර්ශනාත්මක මොකක් හරි විතරයි! 
මේ අදට අදාළ දඩබිම! වරෙක ඔබත් එක දඩයක්කාරයෙක්. මෙවර ඔබ එහි තවත් එක ගොදුරක්. මතු තවත් දවසක ඔබේ අතට ආයෙත් තුවක්කුවක් ලැබෙනවා. එදා පටන්ම ඉතිං මේ දඩ බිම එක එක ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා.

එතකොට මේ 'ගොදුර' කියන කතාව ඔබට ඇත්තටම තේරෙනවා ද?

හරියටම ගත්තොත් ධනවාදයේ නුතනම කාර්තුව ඇතුළෙ මේ ගොදුරු නිර්මාණය කෙරෙන විදිහ ඔබ තවම දන්නෙ නැහැ කියලා මම යෝජනා කරනවා.
බලන්න! ඔබ මතුගම ගමක පුංචි පවුලක ඉපදිලා පාසල් ජීවිතය තුළම ජවිපෙ ක්‍රියාකාරිකයෙක් වෙනවා. 88 - 89 අඳුරු භීෂණයෙන් යටපත් වන ජවිපෙ, ටික කාලයකින් ඇත්තටම යළි ගොඩ එන්නෙ 'විමල් වීරවංශ' කියන ඔබේ මුද්‍රාවත් එක්ක. රට පුරා විසිරුණු දැවැන්ත රහසිගත සංවිධාන ජාලයක් තිබුණත් එවර ඔබ 'මාධ්‍ය නිෂ්පාදනයක්' වෙමින් ඒ පක්ෂයට නුතන 'සුසංගත ප්‍රජාතන්ත්‍රවාදී හැඩය' ක් ලබා දුන් බව පැහැදිලියි. ඔය කාලය තුළ, කෙටි කාලයක්  'රාවය' ට වැඩකරමින් හිටපු මටත් ඔබ වරින් වර මුණ ගැහුණා. ඔබට මතකද? ඔබ, මම ඇතුළු මාධ්‍යයට සම්බන්ධ යම් පිරිසක් සමග හොඳ සම්බන්ධතාවක් ගොඩ නගාගෙන හිටියෙ. ඇත්තටම ඔබට හොඳ සම්බන්ධීකරණ හැකියාවක් තිබුණා. ඒත්, ඔබ සහ 'ජවිපෙ සමස්තය' අතර යම් පරතරයක් තිබුණා. ඒ නිසාම එක විදිහක අර්බුදයක් නිර්මාණය වෙමින් තිබුණා කියලා මට දැනෙන්න ගත්තා. එය ඔබේ ජනප්‍රියත්වය හෝ වෙනයම් පුද්ගලික සාධකයක් මත මෝදු වෙමින් තියෙන වග කෙනෙකුට හිතෙන්න පුළුවං කම තිබුණා වුණත්, ඒක එහෙම නෙවෙයි.
ඒ, වම් - දකුණු දේශපාලනය සහ ඒ මැද ප්‍රජාතන්ත්‍රවාදය ( සුසංගත? ) සමග ධනවාදයේ නුතනත්වයට අදාළව නිර්මාණය වෙමින් තිබුණු ඓතිහාසික අර්බුදයක්. පක්ෂ දේශපාලනයෙන් ව්‍යුක්තව නූතන මාධ්‍ය පර්යේෂණයක නියැලුණු 'නිදහස්' මාධ්‍ය භාවිතය පවා ජවිපෙ සමස්ත විරෝධයට ලක්වෙන්නෙ  අන්න ඒ අර්බුදය තුළ. ඔය දියුණු සංවාදය කොතැනකින් හරි පටන් ගන්න මම පුද්ගලිකව, ඔබ ඇතුළු ජවිපෙ නායකයන් එක්ක නොවිධිමත්ව වුණත් වරින් වර උත්සහ කෙරුව, වැඩක් වුණේ නැහැ. දවසක්, විජිත හේරත් නාවල 'නිදහස්' කාර්යාලයට ගොඩ වැදුණු වෙලාවක, මේ ගැන විස්තර කරමින් 'විමල්' කියන සාධකය නිසා ජවිපෙ පුපුරා යන්න නියමිත බව කියාගන්න උත්සහ කෙරුවත් ඒක සාර්ථක වුණේ නැහැ. අන්තිමට ඒක එහෙම වුණා! හරියටම බලන්න. ඔබ ඒ මොහොත වෙනකොට ක්‍රමානුකුලව, ඔබත් නායකත්වය දෙමින් ප්‍රතිනිර්මාණය කරමින් හිටිය ජවිපෙම ගොදුරක් බවට පත්වෙලා. ඊළඟට, ඔබට ආකර්ෂණය වෙච්ච, ඔබේ මැදිහත්වීමට ආකර්ෂණය වෙච්ච තවත් කී දෙනෙක් ජවිපෙ ගොදුරු වෙන්න ඇද්ද? ඒත් එක්කම ජවිපෙ සමස්තයක් හැටියට වරෙක ශ්‍රීලනිපයේ, වරෙක එජාපයේ ගොදුරක් බවට පත්වෙනවා සහ ඒ හරහා ඒ පක්‍ෂත් එක්කම ධනවාදයේ කොටස් කරුවන් සහ එතකොටම ධනවාදයේ ගොදුරු බවටත් පත්වෙනවා. 
ඔබ ඒ දේශපාලන යථාර්ථය වටහා ගත්තේ නැහැ!
ඔබ ඔන්න ජවිපෙ කඩාගෙන රාජපක්ෂ කඳවුරට එනවා, වෙන පක්ෂයකුත් හදාගන්නවා.  
ඒ වෙලාවෙ, ලියැවුණු 'නිදහස්' සටහනේ ආරම්භක ඡේදය දැන් අපි කියවමු;
( උපුටා දැක්වීම )  
විමල් ඇයි?
විමල් වීරවංශ පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේ හරය මෙසේ දැක්විය හැකිය;
1. අධ්‍යාපන කටයුතු මග නවතා මම ජවිපෙ ට බැඳුනෙමි. ඉන්දියානු හමුදා රට ආක්‍රමණය කිරීම මා ඊට පෙළඹවූ ආසන්නතම හේතුවයි.
2. බෙදුම්වාදයෙන් සහ අධිරාජ්‍යවාදයෙන් මාතෘ භුමිය බේරා ගැනීම මගේ එකම අරමුණ විය. දේශප්‍රේමය මාගේ දේශපාලනයයි.
3. මට විරුද්ධව දේශද්‍රෝහීන් කුමන්ත්‍රණය කරති. පක්ෂයේ සුළු පිරිසක්ද ඊට සම්බන්ධ බව පෙනේ.
4. මේ කුමන්ත්‍රණයේ අරමුණ මාතෘ භූමිය උදෙසා වූ මගේ සටන කඩාකප්පල් කිරීමය.
5. මම නොසැලෙමි. මැරෙන තුරු මගේ සටන අත් නොහරිමි.
( උපුටා දැක්වීම අවසන් ) 
( 2008 මැයි 'නිදහස්' - 'කූඹි - 2010' පිටු 211 - 220 )
මේ ඔබ කියන කතාව ඔබේ අවංකම කතාව කියලා ගත්තොත්, මේ ඇතුළෙම, ඔබ ගොදුරක් බවට පත් කරන අනාගත කතාව තියෙනවා.
රාජ්‍ය කියන්නෙ ධනවාදයේ පාලන තන්ත්‍රය, ජාතික රාජ්‍ය ගොඩනැගෙන මුල් අවදියේදී 'මාතෘ භුමිය' කියන සංකල්පය ඒ සඳහා යොදාගන්නවා, ඒත් 1948 දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව යළි ගොඩ නැගෙන නව යටත් විජිත ලෝකය ඇතුළෙ ඔය 'මාතෘ භුමිය' කියන සංකල්පය දියකරලා 'බහු ජාතික' වෙළෙඳ ලෝකයක් ගොඩ නැගෙන්න ගන්නවා, එය 1970 දශකයේදී තීව්ර තැනකට එසවෙනවා. 71 කැරැල්ල සහ 88 - 89 කැරලි අතර මේ දේශපාලන සාකච්ඡාව ගොඩනැගුණේම නැහැ.
ජවිපෙ හිරවෙන්නෙ ඔය හරියෙ. වාසුලා - බාහුලා හිරවෙන්නෙ ඔය හරියෙ. LTTE මැදිහත්වීම දේශපාලන අරගලයක්ද, ත්‍රස්තවාදයක් ද කියලා නිශ්චය කරගන්න බැරිවෙන්නම 'තත්වය' සංකීර්ණ වෙන්නෙ ඔය හරියෙ. ඔබ දෙවැනි ගමනත් එක්ක ඇඳුමත් මාරු කරලා ජාතික නායක හැඩයකුත් එක්ක ත්‍රස්තවිරෝධී ස්ථාවරයක හිටගන්නෙ, සිද්ධවෙමින් පවතින මේ දේවල් ගැන නිරවුල් කියවීමක් නැතුව. ඔබ එය, දැනගෙනම රාජපක්ෂ කඳවුර සමඟ  marketing වැඩක් විදිහට කෙරුවා කියලා කවුරුහරි තර්ක කෙරුවත්, ඒක එහෙම නෙවෙයි.
කොටින්ම LTTE සංවිධානයත්, මේ ජාතික රාජ්‍යයන් අතික්‍රමණය කරන ඊනියා ජාත්‍යන්තරය ගැන නිවැරදි අවබොධයක හිටියෙ නැහැ. එහෙම ගන්නකොට ඒ සංවිධානයම නූතන වෙළෙඳ පොළේ රසවත් ගොදුරක්, ඕනවෙලවට ඕනවිදිහට ගොඩනගලා පවත්වාගෙන ගිහිං ඕන වෙලාවට ඉවර කරලා දානවා. අන්න ගොදුරක දේශපාලන ඉරණම!
යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය තුළ, නීත්‍යානුකූල ( ? ) ලාංකේය රාජ්‍යයට එරෙහිව අවි ඔසවන දෙමළ ත්‍රස්තවාදය, රාජ්‍ය මිලිටරිබලයෙන් මර්දනය කිරීමේ බලය සහ වගකීම  ලාංකේය රාජ්‍ය වෙනුවෙන් එහි ආණ්ඩුවට පැවරෙනවා. 1971, 1988 - 1989 දි සිද්ධවුණෙත් ඒකමයි. එය මාතෘ භුමිය, යුද වීරත්වය, රණවිරු මානසිකත්වය වගෙ සංකල්ප වලට සම්බන්ධ නැහැ. එය, ධනේශ්වරය තුළ 'රාජ්‍ය' පැවැත්ම පිළිබඳ අර්බුදයක්. ඒ නිසයි ජවිපෙ මාතෘ භුමිය වෙනුවෙන් කැරලි ගැහුවා සහ එල්ටීටීඊ ය මාතෘ භූමියට එරෙහිව කැරලි ගැහුවා කියලා සිංහල අපිට දැනෙන්නෙ. ඒ අතරෙම ධනේශ්වර ගෝලීය චලනයන් සමඟ, ජාතික රාජ්‍ය යළි යළිත් අභියෝගයට ලක්වෙමින් රාජ්‍ය නොවන සහ ඊනියා ජාත්‍යන්තර වෙනම ස්ථානයකට මාරුවෙමින් තියෙන නිසා තත්වය තවත් සංකීර්ණ වෙනවා. ඉතිං වෙනම තවත් රාජ්‍යයක් වෙනුවෙන් LTTE ය ලාංකේය රාජ්‍යයට එරෙහිව අවි එසවීම සහ ඊට එරෙහිව රාජ්‍ය මිලිටරිබලය ක්‍රියාත්මක වීම වෙනම සංසිද්ධියක්. ඔබට 'මේ හරිය' අහුවෙන්නෙම නැහැ!
අන්තිමට ඔබ මොනවද කරලා තියෙන්නෙ? 1990 දශකයේ සිට, ජ්විපෙ වෙනුවෙන්, අන්තිමට ඔබම හදාගත්ත පක්ෂ වෙනුවෙන් වරෙක චන්ද්‍රිකා සමග, වරෙක රනිල් සමග, වරෙක මහින්ද සමග - ඔබ අදහස් කරන ''මාතෘභූමියටම  එරෙහිව'' මේ දක්වා පෙනී හිටිය එක, තව දුරටත් පෙනී ඉන්න එක. කතාව තවත් සරල කෙරුවොත්, අගමැති රනිල් වික්‍රමසිංහ එදා පාර්ලිමේන්තු විවාදයේදී කියපු විදිහටම ''මහින්ද රාජපක්ෂ කෙරුවොත් හරි, අපි කෙරුවොත් වැරදියි!'' කියන කතාව ඔබට හොඳටම අදාළයි. හොඳට බලන්න චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී - රනිල් කරගෙන යන්නෙ එකම දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූලය අරමුදල සහ තවත් මූල්‍ය ඒජන්සී, යුරෝපා සංගමය, ඉන්දියාව, චීනය..අපිව වටකරගෙන. කවුද මේ ආර්ථික ආක්‍රමණයට විරුද්ධ? හැමෝම එකඟයි. ඔබත් එකඟයි. එකඟ විතරක් නෙවෙයි, ඔබ ඔය අතරෙ ඔබේ සහ ඔබේ පවුලේ සරු පැවැත්මකුත් හදා ගන්නවා, අන්න! ඔබට මග හැරෙන, පවුල - පුද්ගලික දේපොළ සහ රාජ්‍ය!   
අන්තිමට කොහොම හරි, එක වෙලාවක ඔබ, ඔබ පෙනී හිටින ලෝකයේම ගොදුරක් බවට පත්වෙනවා. ඔබ නිසා දෙවැනි වතාවටත් තව පිරිසක් මේ ක්‍රමයේ ගොදුරු බවට පත්වෙනවා. කොහොම ගත්තත් අන්තිමට අපි ඔක්කොම මේ ක්‍රමයෙ ගොදුරු බවට පත්වෙනවා. වර්තමාන ගෝලීය ධනේෂ්වරයට එදිරිව දැනට - තවම පර්යේෂණාත්මකව භාවිතයට ගන්න පුළුවං, 'ජාතික' මෙවලම ඊනියා මැතිවරණ මෙවලමක් බවට පත්කරලා, විමල්! මේ ඔබ කරන්නෙ ඓතිහාසික දේශපාලන තාක්ෂණික වරදක්! සිංහල බෞද්ධ පොදු ජනයා නොමග යැවීම නං දේශපාලන අපරාධයක්!
ඔව්! අපි මේ සංවාදය දිගටම ගෙනියමු!
CHAPA    



1 comment:

  1. Very good analytical writing. This is the truth and nothing but the truth.

    ReplyDelete