Saturday, January 7, 2017

ඇමරිකාව දැන් ට්‍රම්ප් ගෙ, ඔබාමා වෙනුවට ට්‍රම්ප්!
මේ ඔබාමා බලයට එන අතරෙ, එදා ලියැවුණු සටහනක්...

ඔබාමා කළු වුණත්, සුදු වුණත්!

උණුසුම් මැතිවරණ තරඟයකට මුහුණ දීපු බරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඔබාමාගේ ජයග්‍රහණය ගැන සතුටු වන බව තමයි පේන්නෙ. සමහරු කියන හැටියට මෙයින් සුදු මිනිස්සුන්ට එරෙහිව කළු මිනිස්සුන්ගෙ සාමූහික හැඟීමක් නිරුපනය වෙනව. එක පැත්තකින් බලනකොට 'කළු' වීම නිසාම ඉතිහාසය පුරා මුහුණ දෙන්න වුණු අනෙක විධ සමාජ අසාධාරණකම් ඇඟට දැනෙනකොට ඒ වගෙ මිනිස්සුන්ට එහෙම හිතෙනවා කියලා හිතන්නත් පුළුවං. කොහොමත් ඉතිහාසය පුරාවටම සුදු මිනිස්සු කළු මිනිස්සුන්ව පාගාගෙන ඔවුන් මත තම ආධිපත්‍ය පතුරුවන්න උත්සාහ ගත්ත හැටි අමුතුවෙන් විස්තර කර කර කියන්න අවශ්‍ය නැහැ. මේ කතා කරන මොහොත වෙනකොටත් ලෝකයේ තැන තැන, විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ කළු මිනිස්සු සුදු මිනිස්සුන්ගෙ දෙපා මුල අපා දුක් විඳිනවා තමයි.
ප්‍රශ්නය තියෙන්නෙ ඔබාමා මේ පීඩිත කළු මිනිස්සුන්ගෙ දේශපාලන අභිලාෂයන් නියෝජනය කරනවාද කියන එකයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්තවල ජීවත් වන කළු ඡන්ද දායකයින් හැමෝම වගේ ඔබාමා කර උඩ තියාගෙන ගියේ, ඔහු තමන්ගෙම නායකයෙක් කියන හැඟීමකින් වෙන්න ඇති.
ඒත් ඔබාමා මේ තැනට ඔසවා තබන අදිසි යාන්ත්‍රණය අයිති ඇමරිකානු වෙළෙඳ පොළටයි. හරියටම කිව්වොත් ඔහු ඇමරිකානු ධනේෂ්වරයේ නියෝජිතයෙක්. හිලරි, මැකේන් සහ ඔබාමා තුන් දෙනාම තුන් විදිහකට තරඟ කරපු එකම නියෝජනයක් බව ඒ දේශපාලන චලනයන් හොඳින් නිරීක්ෂණය කරන කෙනෙකුට පේනවා. කළු ඡන්ද නිසා ඔබාමා දිනුවා කියන නිගමනයට වලංගු භාවයක් තිබුණත්, එයින් අර දේශපාලන යථාර්ථය යටපත් වෙන්නෙ නැහැ.
අපි ජීවත් වෙන මේ කාල තීරුව වෙනකොට ලෝකයේ සුදු කළු භේදය එදා වගේම තව දුරටත් පවතිනවා කියලා කවුරු හරි තර්ක කරනවා නං එතැන තර්කයක් තියෙනවා. ඒ වගේම සුද කළු භේදය අභිබවාගෙන යන සුදු කළු වෙළෙඳ පොළක් ගොඩ නැගිලා තියෙනවා කියන එකත් අපිට මෙතැනදී සැලකිල්ලට ගන්නම වෙනවා. වන විදිහකට කිව්වොත් සුදු වෙළෙඳ පොළේ කළු භාණ්ඩ වලට මාර තැනක් තියෙනවා. කළු ක්‍රීඩකයො, කළු සංගීත කාරයො, කළු නළු නිළියො සහ කළු දේශපාලන ක්‍රියාකාරිකයො...මේ හැමෝම සුදු වෙළෙඳ පොළේ හරි හරියට විකිණෙනවා. කාටහරි පේන්න පුළුවං දැන් එතකොට සුදු කළු භේදයක් නෑනෙ, හැමෝම එකයිනෙ කියලා. ඒත් මේ වෙළෙඳාම ඊට වඩා හුඟාක් සංකීර්ණයි. අපිට ඕන්නං සමීකරණය මේ විදිහට හදාගන්නත් පුළුවං. නූතන වෙළෙඳ පොළ ඇතුළෙ විකිණෙන්න නං සුදු කළු භේදයක් බලපාන්නෑ. සමහරවෙලාවට සුදු වීම සහ කළු වීම වෙන් වෙන්ව විශේෂ සුදුසුකම් හැටියටත් මේ වෙළෙඳ පොළ ඉල්ලා හිටිනවා. SEX විකිණිල්ලෙදි තමයි මේ යථාර්ථය හොඳට ඉස්මතුවෙලා පේන්නෙ.
එහෙම බලනකොට ඔබාමාගේ ජයග්‍රහණය කළු කමට ලැබුණු හොඳ මිලක් කියලත් කෙනෙකුට තර්ක කරන්න පුළුවං. කොහොම වුණත් මේ ජයග්‍රහණය නිසා ඇමරිකානු පොළොව තුළ සහ ඉන් පිටත සමාජ සාධාරණත්වය උදෙසා වූ මහා වෙනස්කම් ඇති වෙයි කියලා කවුරු හරි හිතනවා නං එතැන ඒ තරමටම තේරුමක් නැහැ. හැබයි ඔබාමා කළු වුණත් සුදු වුණත් ඔහු හරහා ඊළඟට ක්‍රියාත්මක වන ඇමරිකානු වෙළෙඳ ක්‍රමෝපායන් එරටට වගේම ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල් වලට තීරණාත්මක විදිහට බලපාවි.ඒ නිසා අපිට ඔබාමාගේ කළු කම පැත්තකට දාලා කතා කරන්න වෙන්නෙ ඔහුගෙ සුදු දේශපාලනය ගැනයි. මොකද ඔබාමා කළු වුණත් ඔහුගේ ලෝකය සුදුයි.ධවල මන්දිරයක් තියෙන්නෙ ඒකනෙ!
2008 දෙසැම්බර් 'නිදහස්' මුල් පිටුව
( කුඹි - 2010 ජුනි, පිටු 304 - 306 )      

No comments:

Post a Comment