Saturday, April 15, 2017

''උඹලාව මරා දාපු කුණු කන්දෙ අපේ කුණුත් ඇති! අපට නං සමාව දෙන්න එපා!''


ඊයෙ, ඒ කියන්නෙ 2017 අප්‍රේල් 14, හවස, කොළඹ, කොළොන්නාවෙ, ප්‍රසිද්ධ මීතොටමුල්ල කුණු කන්දෙ, පැත්තක් නාය ගියා.
සිද්ධිය දැන් ලෝකප්‍රවෘත්තියක්!
මේ වෙනකොට, කුණු කන්දට යටවෙලා මියගිය, 19 දෙනෙකුගෙ විතර මළ සිරුරු හොයාගෙන. සෑහෙන දෙනෙක් තුවාලයි.
තවමත් යටවෙලා ඉන්න අය හොයා ගන්න, හමුදා - පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක් මේ මොහොතෙත් ක්‍රියාත්මකයි. ඒත්, වාර්තාවන ආකාරයට, අදාළ මෙහෙයුමට අවශ්‍ය යාන්ත්‍රික වාහන පවා ලැබෙන්නෙ, සිද්ධියෙන් පැය ගණනාවකට පස්සෙ. එතැන ට යන පොලිස්පති, මේ ගැන යම් නිලධාරියෙකුට දුරකථනයෙන් කතා කරන දර්ශනයක් ප්‍රවෘත්තියක විකාශය වුණා. අර නිලධාරියා අහනවා, ඒවා හෙට උදේ එවන්නද කියලා! ඊළඟ ට ආපදා කළමනාකරණ ආයතනයෙ සෙට් එකක්, සුසිල් ප්‍රේමජයන්තගෙ ප්‍රධානත්වයෙන් වටවෙලා කතා කර කර ඉන්න හැටිත් දැක්කා. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාත් කැමරා ඉදිරියෙ මොන මොනවාද කිව්වා. ඇමති චම්පික රණවක නිකං අහිංසක කමට වගෙ කියනවා, විද්‍යාත්මක ක්‍රමයකට මේ කුණු ප්‍රශ්නය විසඳන්න ඉඩ දෙන්න ලු, විරුද්ධ වෙන්න එපා ලු! මාර කතාවක්! තමයි.
අගමැති රනිල් වික්‍රමසිංහ ඔය කොහෙද පිට රටක ඉඳන්, දුරකථනයෙන් කිව්වෙ, කුණු කන්ද සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් ඉන්න අතරෙලු, ඒක නාය ගියේ. සිද්ධිය ගැන කණගාටු වෙනව ලු! බලමුකො ඒකෙත් හැටි! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිසතෙල් ගාන අතරෙ කියනවා, දිගටම මධ්‍යම ආණ්ඩුවයි පළාත් මැති ඇමැතිවරුයි අතර කඹ ඇදිල්ල නිසා මේ කුණු ප්‍රශ්නය විසඳන්න බැරි වෙනවා ලු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නං මොකක්වත් කියනවා දැක්කෙ නැහැ, පස්සෙ කියයි.
හැබැයි, ආණ්ඩුව කියනවා, ඔය මැරිච්ච අයගෙ භූමිදාන කටයුතු ආණ්ඩුව ගානෙ කරනවා ලු!
ප්‍රශ්නය ඒ එකක්වත් නෙවෙයි, මේ ඛේදවාචකයට එතකොට වග කියන්න ඕනෙ කවුද? නැතිවෙච්ච් ජීවිත? ඒවාට නැවත පණ දෙන්න පුළුවන් කාටද?
සංවර්ධනය ගැන පුරසාරම් දොඩවන එදා මෙදා පාලකයන්ට, දශක කීපයක සිට ක්‍රමානුකුලව ගොඩ ගැහෙන මේ කුණු කඳු ගැන කිසිම හැඟීමක් ඇත්තෙ නැහැ. මේ එක කුණු කන්දක් විතරයි, කොළඹ සහ තවත් ප්‍රදේශවල තවත් ලොකු පොඩි කුණු කඳු තියෙනවා.
අපි මහලොකු සංවර්ධන ව්‍යපෘති ගැන වාචාල කතා කිව්වාට, අපි බැහැර කරන කුණු ටික කළමනාකරණය කරගන්න බැරි අපොහොසත් රටක්. ආණ්ඩුව, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා...මධ්‍යම පරිසර අධිකාරිය, අර අමාත්‍යංශය, මේ අමාත්‍යංශය, අර දෙපාර්තමේන්තුව, මේ දෙපාර්තමේන්තුව...මොන ආයතනයද දැන් අඩු? මැති ඇමතිවරු ප්‍රමුඛ නිලධාරීන් මොන රොත්තක්, මේ වගෙ පොදු කාර්යයන් සඳහා මහජන මුදලින් නඩත්තු කරනවා ද?
අපේ පාලකයො අපොහොසත්.
ඒ අතරෙ, ඡන්ද කඩා ගන්නත් මේ කුණු ප්‍රශ්නය තොරොම්බල් කරන විදිහ පේනවා.
වැදගත්ම දේ තමයි, දැනට ගොඩ ගැහිලා තියෙන කුණු කඳුවලට තිරසාර විසඳුමක් හදා ගන්න උත්සහ කරන අතරෙ, දැන් රට පුරා කුණු බැහැර කරන විදිහ විධිමත් කරගන්න විදිහ. කුණු වෙකරගෙන ඒ ඒ වර්ග කළමනාකරණය කරන ජනප්‍රිය ක්‍රමය, අපි නිවැරදිව අනුගමනය කරන්න ඕනෙ. සමහර කුණු ප්‍රතිචක්‍රීයකරණයට. සමහර කුණු පස සරු කිරීමට, ඒකත් ඉතිං ප්‍රතිචක්‍රීයකරණයක් තමයි. මේ ක්‍රියාවලියට, මහජන සහයෝගය ලබා ගන්නත් පාලකයො සමත්වෙන්න ඕනෙ.
ඊළඟට, දැනට පවතින මේ කුණු කඳුවලට කරන දේ. ලෝකය පුරා රටවල් මේ වගෙ අර්බුද සඳහා අනුගමනය කරන ක්‍රම මොනවාද කියන එක හොයලා, ඒ සාර්ථක ක්‍රම වේදයක් විධිමත්ව අනුගමය කරන එක.
ඉතිං මේ වැඩේට, කී දෙනක් සහ කී කාලයක් ඕනෙද?
වෙන විදිහකට ඇහුවොත්, තව කොච්චර බිලි ඕනෙ ද?
මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා යන්නම ගිය අසරණයන්ට කියන්න තියෙන්නෙ නං මෙච්චරයි!
''උඹලා මරා දාපු කුණු කන්දෙ අපේ කුණුත් ඇති! අපට නං සමාව දෙන්න එපා!
CHAPA
2017 අප්‍රේල් 15

No comments:

Post a Comment