Saturday, April 15, 2017

ඡාරූප, කවි වුණා. කවි, ඡායාරූප වුණා...

 

 

 

 






හදිසියේම මට, ලාල් හෑගොඩ මතක් වුණා!
විශේෂ හේතුවක් නැහැ...
1990 ගණන්වල දවසක, මම ඔහු හොයාගෙන ගියා, ඒ ඡායාරූපකරණය ඉගෙන ගන්න.
ඉතිං මම ඔහුගෙ පන්ති ගියා.
ඒ දවස්වල ඔහුගෙ පන්ති පැවැත්වුණේ, නාවල හන්දියට යාබදව පිහිටා තිබුණු ඔහුගෙම ගෙදර, පස්සෙ කාලයක ඔහු ඒ ගේ විකුණුවා කියලා දැන ගත්තහම මට හීනි තරහකුත් - දුකකුත් දැනුණා. කලාත්මක පෙනුමක් තිබුණු ඒ  ගෙදර තිබුණේ කැලෑවට වගෙ ඇරපු ගෙවත්තක. වදුල සහ ඒ තුළ සැරිසරන එක එක සත්තු එහෙ හිටියා. පුංචි දිය පාරක් ළඟ ඉබ්බෙක්, තලගොයෙක් එහෙමත් හිටියා මතකයි, ඒ, ආයාසයෙන් හදන අය නෙවෙයි. එහෙන් මෙහෙන් ඇවිත් වත්තෙ සැරිසරන අය.
ලාල් හෑගොඩගෙ ඡායාරූපකරණය පටන් ගන්නෙ ස්වභාවධර්මයත් එක්ක කෙරෙන ගනු දෙනුවක් විදිහට. ඉතිං අර ස්වභාවික වට පිටාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. දැන් ඒ වත්ත නැතුව ඇති, ඒ සත්තු? ඒ මතකය තමයි දුකක් වගෙ දැනෙන්නෙ.
ලෝකය හොයන කෙනෙක් සහ කලාව හොයන කෙනෙක් හැටියට තමයි, මම ඔහු ලඟට යන්නෙ. ඔහු, ඡායාරූපකරණය, හුදු තාක්ෂණික ක්‍රියාවක් නොවන වග, අපුරුවට පැහැදිලි කෙරුවා.
ඒ අතරම ඔහු කවියෙක්.
ඔහු කවි ලියන අතර ඡායාරූපකරණයේ යෙදුණා. ඡායාරූපකරණයේ යෙදෙන ගමන් කවි ලිව්වා. දන්නෙම නැතුව ඡාරූප, කවි වුණා. කවි, ඡායාරූප වුණා.
මමත් ඔහුගෙ දහසක් ශිෂ්‍යයෝ මැද ඒ ඡායාරූප කවිකරණය ඉගෙන ගත්තා.
ඒ දවස් ලස්සනයි.
මට මතකයි, අපේ පාඨමාලාව අන්තිම හරියෙදි, ඔහු, අපිත් එක්ක, මොරටුවේ කොච්චි පාර අද්දර, පැල්පත්වල ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිත ප්‍රතිනිරූපණය කරන ඡායාරූප අරගෙන, ඒ අයිනෙම පොල් අතු පුවරුවක ඒවා ප්‍රදර්ශනය කෙරුවා. ප්‍රදර්ශනය විවෘත කෙරුවෙ, ඒ වත්තෙ ජීවත් වුණු වියපත්ම අම්මා. අපුරු අත්දැකීමක්.
මම ඒ පන්තිවලට සහභාගී වුණේ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට වැඩ කරන ගමන්. ඒ දවස් හරිම අවුල් සහගතයි. ඉතිං කොහොම හරි මට ඒ පාඨමාලාවෙ අන්තිම ඡායාරූප නිබන්ධනයට සහභාගී වෙන්න බැරි වුණා. හැබැයි මට නං හිතෙන්නෙ, ඔහුගෙ ඡායාරූප කවිකරණය හොඳට ම කියවා ගත්තෙ මම කියලයි.
මේ සටහන සම්පුර්ණ වෙන්න, තවත් එක දෙයක් ලියන්නම ඕනෙ.
ඒ කාලයෙන් පස්සෙ, අපි නැවත හම්බ වෙන්නෙ, මම පුර්ණ කාලීනව මාධ්‍යයට සම්බන්ධ වුණාට පස්සෙ. එතකොටත් අපි එක විදිහක අදහස් හුවමාරුවක හිටියා. 2001 දි, මම, 'නිදහස්' මාධ්‍ය ව්‍යාපාරය පටන් ගත්තාට පස්සෙත් අපි වරින් වර හම්බ වුණා. ඔහු, අපේ විශේෂ වැඩ වල, පොදු ආරාධිත ලයිස්තුවේ දිගටම හිටියා.
''මම වෙන වැඩකුත් දාලා ආවෙ, මම මේ එන්නෙම, ඔයා අමාරුවෙන් යන ගමන ධෛර්යමත් කරන්න ඕන නිසා..'' වතාවක් දෙකක් ඔහු එහෙමත් කියලා තියෙනවා.
මේ දවස් වෙනකොට, ඔහු ටිකක් අසනීප ගතියකින් ඉන්න බවත්, එහෙම තියෙද්දි දිගටම පන්ති කරන බවත් මම දන්නවා.
එහෙම බලනකොට, ඔහු හැමදාම ''තරුණ ඡායාරූප කවිකාරයෙක්!''
ඉතිං, දවසක ඔහු මුණගැහෙන්න ඕනෙ, ආගිය තොරතුරු කතා කරගන්නත් එක්ක!
CHAPA
2017 අප්‍රේල් 16

   

No comments:

Post a Comment