විශ්‍රාමිකයා!
'පිස්සුනෙ!'
එක්තරා පුද්ගලයෙක් මේ ළඟදි දවසක කියන්න ගත්තා. ඔහු එක්තරා රාජ්‍ය දෙපාර්තමේන්තුවක දීර්ඝ කාලයක් වැඩ කරලා, උසස් තනතුරකින්, අවුරුදු කීපයකට පෙර විශ්‍රාම ගිය කෙනෙක්.
''හැම එකටම සයිටම්...එක්කෝ රාජ්‍ය දේපොළ විකුණනවා...නැත්තං කුමන්ත්‍රණ...පිස්සුනෙ මුන්ට!''
''දැන් එතකොට රටේ එහෙම ප්‍රශ්න නැද්ද?''
මම නිකමට ඇහුවා.
''රාජපක්ෂලා ඒවා කෙරුවෙ නැද්ද?''
ඔහු පෙරළා ප්‍රශ්න කරනවා.
''කෙරුවා!...දශක ගණනාවක් දිගටම සිද්ධ වෙන්නෙ එකම දේ!''
''පිස්සුනෙ...බලන්න! සයිටම් එක හොඳයිනෙ, ඒකෙන් ළමයි ඉගෙන ගන්නවා...ඔය රාජ්‍ය දේපොළ විකුණන කතා ඇත්ත නෙවෙයිනෙ, අනෙක කුමන්ත්‍රණ කතා බොරු...''
''නිදහස් අධ්‍යාපන අවස්ථා නිසා නෙවෙයි ද අපි රටක් හැටියට මේ දුර ආවෙ?''
''පිස්සු! එහෙම එකක් නෑ! අනෙක ඉතිං නොමිළේ ඉගෙන ගන්න ඕනයැ, මොකෝ සල්ලි දීලා ඉගෙන ගත්තහම...මම නං කියන්නෙ කිසිම දෙයක් නොමිළේ දෙන්න හොඳ නෑ...අගයක් නෑ!''
''එතකොට සෞඛ්‍ය සේවාව?''
''ඔය ඕන තරම් හොස්පිට්ල්ස් තියෙන්නෙ, යන්න බැරියැ...ඕවා ආණ්ඩුවේ වෙන්නම ඕනෙද? අනෙක ඔය රාජ්‍ය ආයතන රාජ්‍ය ආයතන කියලා බදාගෙන ඉන්න ඕනෙත් නැහැ...පිස්සුනෙ!''
ඔහු කියාගෙන යනවා.
''ඈ..පරයො! තෝ ගමේ ඉස්කෝලෙන් නිකං ඉගෙන ගෙන, ආණ්ඩුවේ රස්සාවකුත් කරලා, අවුරුදු විසි ගණනක් නිල නිවාසවල ඉන්න ගමන් තමන්ගෙ ගෙවල් කුලියට දීලා වෙනම සල්ලිත් හම්බ කරලා...දැන් පෙන්ෂන් එකත් භුක්ති විඳ විඳ ඊළඟ පරම්පරාවට කෙළවන්න කතා කරනවා නේද? අනේ යකෝ! තෝ මකබෑවියන්''
මට ඔහුට, අන්න එහෙම කතාවක් කියන්න තිබුණා නං හොඳයි.
ඒත් මම නිකං හිස්වෙලා වගෙ මෙහෙම කිව්වා!
''ඔය පාඩම මෙන්න මේ පොඩි එවුන්ට නං කියලා දෙන්න එපා!''
විශ්‍රාමිකයා ගෙ පුංචි මුනුබුරා එතකොට දත් නැති කට අමුතු විදිහකට හදාගෙන මොකද්දෝ කිව්වා.
''තොපි නං මැරිලා යයි! ඒත් ඊට පස්සෙ අපිට මොකද්ද වෙන්නෙ?''
ඔන්න ඒ හුරතල් හඬ වැඩිහිටි පරිවර්තනයකට ලක් වෙලා දැනුත් ඇහෙන්න ගන්නවා!
CHAPA
April 26, 2017
No comments:
Post a Comment