Saturday, April 29, 2017

අනේ පුංචි කිරිල්ලියනේ!

අපේ පුංචි ගෙවත්තෙ පැත්තක සරුවට වැවෙන තෙබු පඳුරෙ අතු නැවිලා කාමරයෙ ජනේලයෙන් එබෙන්න පටන් අරං. හරිම සුන්දරයි! ගෙවත්තෙ එහා මෙහා සැරි සරන කොණ්ඩ කිරිල්ලියෙකුටත් ඔන්න එහෙම හිතිලා. එයා ඒ අත්තක අස්සෙ පුංචි ලස්සන කූඩුවක් හැදුවා. එයා තමන්ගෙ පුංචි හොටෙන් පුංචි කෝටු කෙඳි අරගෙන අරගෙන ඇවිත් කූඩුව හදන හැටි සමහර වෙලාවට මම හොරෙන් බලාගෙන හිටියා. ඒ හොර වැඩේට එයා එච්චර කැමති වුණේ නැහැ. ඒ වුණත් ලොකුවට ගණන් ගත්තෙත් නැහැ.
දැන් ඔන්න එයා බිත්තර දාලා රකින්න පටන් ගන්නවා. හරිම වගකීම් සහගත හැසිරීමක්. දැනුම් තේරුම් තියෙන නියම අම්මා කෙනෙක්.
ඒ පැත්තෙන්, එක දවසක් එක පාරටම මහා හයියෙන් කුරුල්ලො කෑගහන හඬක් ආවා. එක එක විදිහට, මහා හයියෙන්. මම හෙමින් විපරං කරලා බැලුවා, විශේෂත්වයක් පෙනුනෙ නැහැ. එයාලා දිගටම කෑගහන නිසාම ඊළඟට මම අර ජනේලයෙන් එබිලා බැලුවා. අනේ! එතකොටයි දැක්කෙ නපුරු මුණක් තියෙන හැඩි දැඩි ඇටි කුකුළෙක් තෙබු අතු අස්සෙන් රිංගලා අර පුංචි කිරිල්ලිගෙ කූඩුවට ඇහැ ගහගෙන ඉන්නවා.
එක එක කුරුල්ලො අසරණ කිරිල්ලියත් එක්ක එකට එකතුවෙලා විරෝධය පාන්නෙ ඒ පොදු හතුරාට.        ඉතිං දැන් මොකද කරන්නෙ?
මම හෙමින් ජනේලයෙන් අත දාලා කොහොම හරි ඇටි කුකුළාව එළෙව්වා. එයා යන්න ගියේ, ඉතිං තමුසෙට මොකද? වගෙ බැල්මක් දාගෙන, තරහෙන් වගෙ. ඒ වුණත් එයා, ළඟ ගස් වල අතු පතර ඉඳගෙන වෙන වෙන වැඩ වගෙ පෙන්න පෙන්න කැරකි කැරකි හිටියා, යන්නම ගියේ නැහැ.
අනිත් කුරුල්ලො කණ්ඩායමක් ම එයාට විරුද්ධව මහා හඬින් ඝෝෂා කෙරුවත් තත්වය වෙනස් වුණේ නැහැ. ටික වෙලාවකට පස්සෙ නිකමට මම අර ජනේලයෙන් බලනකොට, එයාලගෙ පොදු හතුරා, වේදනාවෙන් බෙරිහන් දෙන කුරුළු අම්මාට පෙන්න පෙන්නම ඇයගෙ කුඩුවට ඔළුව ඔබගෙන අර බිත්තර ගොදුරු කර ගනිමින් හිටියා. ළඟම තෙබු අත්තක වහලා අඬන කොණ්ඩ කිරිල්ලි විශ්වාසය බිඳුණු දුක්බර ගතියකින් මං දිහාත් බැලුවා.
මම ඒ පාර කලබල කරලා ඇටි කුකුළා එළවනකොට සිද්ධවෙන්න තියෙන සේරම දේවල් වෙලා ඉවරයි. අර කුරුළු විළාපය නං දිගටම ඇහෙන්න ගත්තා. මට අමුතු දුකක් වගෙ හිස් හැඟීමක් ඇති වුණා.
ඇයි මේ?
පැහැදිලි නැතත් මොකද්දෝ ප්‍රශ්නයක් ඔළුව පුරාම කරකැවෙන්න පටන් ගත්තා.
ටික වෙලාවකට පස්සෙ ඒ සාමුහික හඬ තුනී වෙලා ගියත්, තවත් එක පුංචිම පුංචි කුරුල්ලෙක් තනියෙන් බෙරිහන් දෙන හඬ ඇහෙන්න ගත්තා. මම ආයෙත් විපරං කරන්න පටන් ගත්තා. ඒ ළඟම තියෙන කරපිංචා ගහේ අත්තක ඔන්න ඒ පාර අර ඇටි කුකුළා ඉඳගෙන ඉන්නවා. ඒ ළඟින් එහා මෙහා පියාඹමින් තවත් චූටිම චූටි කුරුල්ලෙක් ලොකු කලබැගෑනියක් කරනවා. එයාගෙ උදව්වට වෙන කවුරුවත් ඇත්තෙත් නැහැ. හේතුවක් දැන ගන්නත් බැහැ. ඇටි කුකුළා කීප වාරයක් එළෙව්වත් ආයෙ ආයෙ එනවා. මොකද අනේ මාව විතරක් එළවන්නෙ? වගෙ නොරුස්සනා බැල්මක් ඒ ඇස් වල තිබුණා. සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් විශේෂ දෙයක් සිද්ධ වුණේ නැහැ. නිකං කලබලයක් විතරයි.
එදා දවස ඔහොම ගෙවුණා. හැන්දෑ වෙනකොට ගෙවත්ත පාළුවට ගියා. කුරුල්ලො කවුරුවත් ආවෙ නැහැ. මම ආයෙත් නිකමට ඒ පැත්තෙ ඇවිදිනකොට දැකපු දේ නිසා අර මුළින් ඇති වුණු හිතේ හිරවීම දෙගුණ තෙගුණ වෙලා ආයෙත් මතු වුණා.
තෙබු පඳුරට යාබද අලි ගැට පේර පැළයෙ බිමට නැඹුරු වුණු අත්තක කොළ දෙකක් එකට ලං කරලා හදපු අමුතු ලස්සනම ලස්සන කුරුළු කූඩුවක් දුක්මුසු විදිහට එල්ලා වැටෙමින් තිබුණා. අනේ! එහෙනං ඒක තමයි අර චුටි කිරිල්ලි බේරගන්න සටන් කරලා තියෙන්නෙ! ''ඉතිං තමුසෙට මොකද?'' එතකොටම අර නපුරු ඇටි කුකුළා ගෙ ඇස් වල සටහන් වෙන කතාව මට මතක් වෙන්න ගත්තා.
ඇයි මේ?!
අනේ පුංචි කිරිල්ලියනේ...
CHAPA
2017 අප්‍රේල් 30
     

No comments:

Post a Comment