ඉතිං මේ අහපල්ලා! මම සුර්යා!
මම සුර්යා!
මම මේ මිනිස්සුන්ට, උඹලා ට කතා කරන්නෙ බැරිම තැන.
උඹලා මා දිහා බලාගෙන ඉන්නවා, මා ගැන කතා කරනවා, මා ගැන කවි සින්දු ලියනවා. චිත්‍ර අඳිනවා. කතා හදනවා. තව එක එක දේවල්. ආ! ඔය සුර්යා සහ තවත් නම් කීපයක්ම මට දැම්මෙත් උඹලා තමයි. සමහරු ඒ නම් තම තමන්ටත් දාගෙන.
උඹලාගෙ මුතුම් මිත්තො මාව සැලකුවේ දෙවියෙක් විදිහට. ඔවුන් මට වන්දනා මාන කෙරුවා. මම නං ඔය වන්දනා මාන ගැන උනන්දුවක් නැහැ. හැබැයි ඒ මිනිස්සු එහෙම කෙරුවෙ මෝඩ කමට නෙවෙයි, මම සහ ලෝකය අතර තියෙන සහ සම්බන්ධය ගැන යම් අවබෝධයකින් කියලා මම හිතනවා. ඔවුන් ඒ ගමන්ම, පොළොවෙ ඉන්න මගෙ අනිත් දරුවො, ගංගා ඇළ දොළ, කඳු නිම්න, ගහ කොළ සතා සීපාවා, උඹල දකින නොදකින අනන්ත ප්‍රමාණයක තවත් සත්තු...ආරක්ෂා වෙන්න ඕන කියලත් අවබෝධයක හිටියා. ආරක්ෂාවට සහ ආහාරයට මිස ඔවුන් වෙන සතෙක්ව මරා දැම්මෙ නැහැ, අත්‍යවශ්‍ය වෙලාවක මිසක් ගහ කොළ විනාශ කෙරුවෙත් නැහැ.
උඹලා, උඹලාගෙ ගෙ මුල් කාලය කොහොමත් ස්වාභාව ධර්මයත් එක්ක සංහිඳීයාවකින් ජීවත් වෙන්න දැනගෙන හිටියා. ඒ නිසාම, ඉඳ හිට යම් යම් අතුරු ආන්තරා සිද්ධ වුණත් සමස්තයක් විදිහට, ඔවුන් ස්වභාව ධර්මය තුළ ආරක්ෂා වුණා.
මමත්, වසර මිලියන ගණනක් තිස්සෙ, උඹ ලා ජීවත්වෙන, පෘතුවිය සහ තවත් නම් වලින් හඳුන්වා ගන්න උඹලා ගෙ ලෝකය දිහා උපේක්ෂාවෙන් බලාගෙන හිටියා.
එදාට වඩා අද, උඹලා ගෙ ලෝකය හුඟාක් දියුණුයි! සංවර්ධනය හැම තැනම!
උඹලා මේ වෙනකොට, උඹලා වටේ ස්වාභාවිකව තියෙන හැම දෙයක්ම එක්කම සෙල්ලං කරනවා. මහ පොළොව වස විස වලින් පුරවලා, වා තලය දුෂණය කරලා.
ඒත් උඹලා ට දැන්, උඹලා ත් ස්වභාව ධර්මයේම කොටසක් බව මුළුමනින්ම අමතක වෙලා. උඹලා ත්, සත්ත්ව ලෝකයේම කොටසක් බව, ඒ නිසාම තනියෙන් ජීවත් වෙන්න බැරි බව සහමුලින්ම අමතක වෙලා. මට දරා ගන්න බැහැ, උඹලා මෝඩ විදිහට මහා වනාන්තර විනාශ කරන විදිහ! කඳු පාත් කරන විදිහ! ගංගා ඇළ දොළ අතුරු දහන් කරන විදිහ! අනිත් සත්ත්ව ලෝක වනසන විදිහ!
උඹලා විතරක් නෙවෙයි, ඒත් මගෙ දරුවො!
දැන ගනිල්ලා! ඔය මහා වනාන්තර විනාශ කරලා මගෙන් නං බේරෙන්න බැහැ, උඹලා විනාශ වෙන්නෙ ටික ටික, පිච්චි පිච්චි.
ඔය උඹලාගෙ ලෝකයෙ කාන්තාර ඇති වුණේ මම නිසා නෙවෙයි. ඒවාට විවිධ හේතු තියෙනවා. හැබැයි ඔය උඹලා දැන් කරගෙන යන විදිහට පොළොවෙ ඉතුරු වෙන්නෙ කොන්ක්‍රීට් කාන්තාර විතරයි, අන්තිමට. එහෙම කරගෙන ඔන්න මට නං සාප කරන්න එපා! එතකොට උඹලා ට, මගෙ රස්නය වැඩිවෙලා දරා ගන්න බැරුව යනවා. මම එහෙම කරන්නෙ කැමැත්තෙන් නෙවෙයි.
ඒත් සිද්ධ වෙන්නෙ එහෙම තමයි.
මම කොහොමත් සැලෙන්නෙ නැහැ. උඹලා ට අයිති බව හිතාගෙන ඉන්න ඔය පෘතුවිය කියන වස්තුව, තමන් වටේ කරකැවෙන අතර මම වටේ කරකැවෙනවා. එහෙම කරකැවෙන තවත් ග්‍රහලෝක තියෙනවා. උඹල ගෙ කට්ටියක් මා ගැන හොයන අතර ඒ ග්‍රහ ලෝක ගැනත් හොයනවා. ඒවාටත් යන්න පුළුවන් ද කියලා බලනවා.
එහෙම හොයන එක හොඳයි. ඒත් තමන් ගැන, තමන් ගෙ ලෝකය ගැන හොයන්න උනන්දුවක් නැති උඹලා මේ මොනවද කරන්නෙ? මේ මොනවද හොයන්නෙ?
මම එකක් කියන්නං!
උඹලා පරිස්සමෙන් හිටපල්ලා. ඔහොම ගියොත් උඹලා අනිත් ඔක්කොම ඉවර කරලා උඹලත් ඉක්මනට ඉවර වෙනවා.
උඹලා මගෙ දරුවො! ඒත් මම මොනවා කරන්නද?
උඹලා ම කියපල්ලා! මම මොකක් ද කරන්න ඕනෙ?!
මොකද්ද? මොකද්ද? මොකද්ද?
කියපල්ලා! දරුවනේ!!
( සටහන් කරගත්තෙ CHAPA , 2017 අප්‍රේල් 21 )
No comments:
Post a Comment