සංවාදය? තව දුරටත්...
මේ පුද්ගලික අත්දැකීම් වලින් වටහා ගන්න පුළුවන් වැදගත්ම කාරණය තමයි, අපිට සමාජයක් හැටියට පුළුල් සංවාදයක් නැහැ! කියන එක.
මේ කෙටි සටහන, අන්න ඒ යෝජිත සංවාදයට මුල පිරීමක්...
ඔය විදිහට කීප වතාවක් කතා කරන අය අන්තිමට අතුරුදහන් වෙනවා. ඒ සමහර අයට ඕන වෙලා තියෙන්නෙ, අහවල් පක්ෂයට සහයෝගය දෙන බිම් මට්ටමේ වැඩකට මොකක් හරි පොටක් පාද ගන්න පුළුවන් ද කියලා බලන එක. සමහර අය නං මොකක් හරි සිද්ධියකින් හදිසි තැතිගැන්මක් වගෙ හැඟීමක් ඇතිවෙලා, රට ගැන - සමාජය ගැන ලොකු උනන්දුවක් ඇතිවෙලා, පස්සෙ normal වෙන අය. දැනුමේ සීමාවන් නිසා, අවංක - ඒත් තෙරමක් නැතුව කාට හරි වැඩ කරන අයත් ඒ අතර ඉන්නවා. fun එකට හෙවත් ස්වයංවින්දනයට එහෙම කරන අය ඉතිං වෙනම.
ආණ්ඩුවෙ බුද්ධි අංශවල සහ වෙන වෙන කුලී ඒජන්සිකාරයොත් ඔය අස්සෙ ඉන්න බව පේනවා, ඒ ගොල්ලො නං මාර පව්!
ඔය පසුබිම තුළ ලැබෙන සමහර අත්දැකීම් වැදගත්, යෝජිත සංවාදය ගොඩනගන්න.
මාසයකට දෙකකට කිට්ටු කාලයක්, වරින් වර ඔහොම දුරකථනය ඔස්සේ කතා බහ කරපු හාමුදුරුවො කෙනෙක්, තවත් හාමුදුරුවරු දෙනමක් එක්ක, මේ ලඟදි දවසක මුණ ගැහුණා. හාමුදුරුවරුන්ට පොදුවේ බලපාන ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න තමයි ඔවුන් ආවෙ.
දේශීය ආර්ථිකයට අනන්‍ය දිශාවක් හොයා ගන්න යම් ඉඩක් හෝ අවසන් වශයෙන් තිබෙන, 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් ථේරවාදී බුදු දහමට පදනම් කෙරුණු ලාංකේය රාජ්‍ය දියකෙරෙමින් තියෙන මේ මොහොතේ, ඒ වගෙ ප්‍රශ්න කෑලි අරගෙන මොකුත් කරන්න බැහැ! සහ ඒ නිසාම, පක්ෂ සහ ආගම් අභිබවා යන ජාතික ( ? ) තලයේ පුළුල් මැදිහත්වීමක් සඳහා වැඩකරන්න ඕනෙ කියන යෝජනාව තමයි ඔවුන්ට ඒ වෙලාවෙ මම ඉදිරිපත් කෙරුවෙ. ඒත් ඒ ගැන එච්චර ලොකු උනන්දුවක් ඔවුන් තුළ තිබුණේ නැහැ. අර කියපු ප්‍රශ්නයට අදාළ තොරතුරු නං දෙන්න පුළුවන් කියන කාරණය තමයි දිගටම අවධාරණය කෙරුවෙ. ඒ ඔක්කොමත් හරි, ඊට පස්සෙ, බුදු දහම ගැන ටිකක් වැඩිපුර සකච්ඡා කෙරුණු අතර තුර, මස් මාළු අනුභවය ගැනත් අහම්බෙන් වගෙ ඇදිලා ආවා. මස් මාළු කන එක බුදු දහමට අනුව ප්‍රශ්නයක් නෙවෙයි කියලා, ඒ හාමුදුරුවරු මට පැහැදිලි කරන්න හදනකොටම, මම ටික ටික හිස් වෙන්න පටන් ගත්තා. සත්තු මරන එක තමයි අකුසලය, ඒ මරපු සත්තු කන එක අකුසලයක් නෙවෙයි! කියනකොටම බුදු දහම තුළ මතුවෙන විකෘතිය ගැන වචන හරඹ වලින් වටහා ගන්න බැහැ.
බුදු දහමේ හරය, භාවිත අරුතෙන් වටහා ගන්න ඕන මොහොතක් ඒ.
එදා ඉතිං, ටිකක් හිස් ගතියක් ඇතිවෙච්ච නිසා, අභිධර්මය ගැන විශාල උනන්දුවක් තියෙන වෘත්තීය මට්ටමේ මිත්‍රයෙක් එක්ක මේ අත් දැකීම බෙදා ගන්න හිතුවා.
''ඒ හාමුදුරුවරු හරි..මමත් හිතන්නෙ එහෙමයි...'' ඔහු කියන්න පටන් ගත්තා.
''එක ජාතක කතාවක් තියෙනවා..අම්මයි තාත්තයි දරුවයි කාන්තාරයකින් එතෙර වෙන්න යනකොට, කන්න කිසිම දෙයක් නැතිවෙලා, අමම්යි තාත්තයි තමන්ගෙ දරුවා මරාගෙන කනවා...ඒ බෝධි සත්වයො එක...''
'' ඒක එහෙම නං මම ඔය බෝධි සත්ත්වයන්ට එරෙහිව හිට ගන්නවා!'' මිත්‍රයාට කතාව ඉවර කරන්න නොදීපු මම අවධාරණය කෙරුවා.
ඔය බුදු දහම නං නෙවෙයි! මම තවදුරටත් කියමින් ඉන්නවා!
හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපිට අපේ පැවැත්මට අනුන් මරන්න බැහැ. ඒත් අපි එහෙම කරනවා. සත්තු කියන්නෙ, බැක්ටීරියා සිට අලි දක්වා, තවත් හඳුණා නොගත් හුඟාක් සත්තු. අපි එහෙමත් කරන නිසා තමයි, ඉපදීම, ජීවිත්වීම සහ මරණය දුකක් වෙන්නෙ. ඉතිං මේ සරල යථාර්ථය පිළි නොගෙන, තම තමන්ගෙ වාසියට බුදු දහම අර්ථකථනය කරන එක හරහා විශාල විකෘතියක් හැදෙන එක වළක්වන්න බැහැ.
ඊට පස්සෙ, ආසන්න දවසක, අර මිත්‍රයා තවත් මිත්‍රයෙක් එක්ක තවත් සාකච්ඡාවක් පටන් ගත්තා. ඔවුන් දෙදෙනාම වෘත්තිකයන්.
''ඔබේ දේශපාලන ස්ථාවරය මොකද්ද?''
අර අලුත් මිත්‍රයා ඇහුවා.
''වඩා යහපත් ලෝකයක් ගොඩ නගන්න අවශ්‍ය ඓතිහාසික සංවාදය ඉස්සරහට ගෙනියන එක...''
''මම ඇහුවෙ ඔබ නියෝජනය කරන පක්ෂය..''
''මගෙ දේශපාලනය, පක්ෂ දේශපාලනයට එපිටින්, කොටින්ම මම කවදාවත් කාටවත් ඡන්දය දීලා නැහැ, දෙන්නෙත් නැහැ...''
''පක්ෂයක් නැති දේශපාලනයක් කියනකොටම, මාක්ස්වාදී පදනමක් තියෙන මට, ඔබ තුමා එක්ක කතා කරන්න දෙයක් නැහැ''
''මාක්ස්වාදය කියන යෙදුම ම වැරද්දක්, 19 වැනි සියවස මැද හරියෙදි, මාක්ස් සහ එංගල්ස් සම්පුර්ණ කරමින් හිටපු අධ්‍යන කටයුතු පෙටියකට දාලා, ඒක 'වාදයක්' කරන එකම දේශපාලන විකෘතියක්!''
''මම නියෝජනය කරන්නෙ, මාක්ස්වාදී පක්ෂයක්''
''මාක්ස්වාදය කියලා දෙයක් වෙනම හදා ගෙන ඒ සඳහා පක්ෂත් හදාගෙන, පවතින ක්‍රමය වෙනස් කරන්න හදන එකම මාර අවුලක්!''
අපේ සාකච්ඡාව ඔය හරියයෙදි වගෙ නැවතුණා.
ඉතිං මේ සංවාදය ඉස්සරහට ගන්නෙ කොහොමද?
මේ සටහන සඳහාත් සමහරු දිගක් පළලක් නැතුව එක එක දේවල් ලියන්න පටන් ගනීවි. කමක් නැහැ! අඩුම තරමෙ ඉතිහාසය වෙනුවෙන් යමක් සටහන් කෙරුවනෙ, ඒ ඇති!
CHAPA
2017 අප්‍රේල් 13
No comments:
Post a Comment