Thursday, November 24, 2016

''මාව මරනව නං මගේ දරුවෝ ඉස්සරහා මාව මරන්න එපා...වෙන කොහාට හරි අරගෙන ගිහිල්ල මරන්න.''

සන්නස්ගල කඳුළු පිරි දෙනෙතින් ආයාචනා කළේය.

''...ඒ කාලයේදීම, ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කරමින් සිටි 'ට්‍රෝජන් කාන්තාවෝ' නම් වූ වේදිකා නාට්‍ය පසුබිමේ ද කිසිදා අමතක නොවන වර්ගයේ සිදුවීම් පෙළක් ගොනු වූ බව මෙහි සඳහන් කළ යුතුය. එම වේදිකා නාට්‍යයයේ අන්තර්ගතය මගින් එවකට බලයේ සිටි චන්ද්‍රිකා ජනාධිපතිවරිය බරපතළ ලෙස විවේචනය කෙරෙන බැවින් ඇය කුපිත වී සිටින බව හදිසි ආරංචියක් ලෙස පැතිරිණි. ඒ අනුව ඇයගේ ආරක්ෂක නඩය එය කල්තියා මර්දනය කිරීමට වැඩ ආරම්භ කර තිබුණු බව සැලවිණි.ඔවුන්, තමන්ට මරණ තර්ජන එල්ල කරමින් තැපැල් පත් එවන බව ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රකාශ කළේය. එක් රාත්‍රියකදී ජනාධිපති ආරක්ෂක මැරයින්, නාට්‍යයට සංගීතය නිශ්පාදනය කළ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා සොයා ගොස් ඔවුන්ට අඩත්තේට්ටම් කළ බව ප්‍රකාශ විණි. මෙසේ මරණ ලැයිස්තුවේ නම සඳහන් බව කියන පිරිස අතර උපුල් ශාන්ත සන්නස්ගල ද සිටියේය.
රාවය මුල් වටයේදීම ට්‍රෝජන් කාන්තාවෝ සමග සටනට පිවිසියේය. ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයයේ ප්‍රධාන රංගන ශිල්පිණියක් වූ අනෝජා වීරසිංහගේ මහ ගෙදරට ගිනි තබා තිබුණේද ඒ අතර කාලයේදීය.
අපි කඩි ගුලක් සේ වැඩ කළෙමු. එක පයින් චන්ද්‍රිකාගේ මැර බලයට විරුද්ධ වූවෙමු. ජීවිත අවදානමට මුහුණ දුන් බව කියන ඒ බොහෝ දෙනෙක් මුණ ගැසීමේ අවස්ථාව මටද හිමි විය. ඔවුන් පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවටද මම සහභාගී වුනෙමි. එදා සන්නස්ගල පැමිණ තිබුණේ යට බැනියම පිටිනි. කිසියම් පුද්ගලයෙකු සාප්පුවකට යවා කමිසයක් ගෙන්වාගත් ඔහු සෙනග බලාසිටියදීම එය ඇඳගත්තේය.
''මාව මරනව නං මගේ දරුවෝ ඉස්සරහා මාව මරන්න එපා...වෙන කොහාට හරි අරගෙන ගිහිල්ල මරන්න.''
සන්නස්ගල කඳුළු පිරි දෙනෙතින් ආයාචනා කළේය. අපිත් උණුවූ මනසින් චන්ද්‍රිකාට විරුද්ධව එක පෙළට සිට ගත්තෙමු.
මේ සිදුවීම් පෙළට ඍජුවම සම්බන්ධ වූ පුද්ගලයෙක් ලෙස මම දැන් ඒ අතීත කොටස බරපතළ ලෙස සැක කරන්නෙමි.  ඇත්තටම සැකය පටන් ගත්තේ නම් ඒ දිනවලමය. එහි කතා නායකයා වූ ධර්මසිරි බණ්ඩාරනායක සමග මම පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කළ බව මතකය. ඔහුගේ කතා එකකට එකක් පරස්පර විරෝධී විය. සන්නස්ගල සිදුවීමට සම්බන්ධවන තැන ද ඔහුගේ වෙනත් ප්‍රචාරණ ව්‍යාපෘතියක සේයාවක් දුටුවෙමි. මෙබඳු සැකයක් ඇතිකරගත් එකම එක පුද්ගලයා මා පමණක් නොවේ. 
 එකල මුණ ගැසුණු බොහෝ කලා කරුවන් කියා සිටියේ මෙය එක්තරා ආකාරයක ප්‍රෝඩාවක් බවය. දිනක් මට කතා කළ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ තදින්ම කියා සිටියේ මෙය ධර්මසිරි බණ්ඩාරනායකගේ අතේ රෝලක් බවය. මා ද ඇතුළු රාවය ඔහු ට රැවටී ඇති බව ඔහුගේ නිගමනය විය.
කෙසේ වෙතත් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිවරියගේ මැරකං පිළිබඳව මට කිසිදු සැකයක් නැත. එහෙත් ට්‍රෝජන් කාන්තාවෝ සමග දිග හැරෙන මෙම කතාව තුළ කිසියම් ප්‍රබන්ධයක් ද ඇතැයි මම අනුමාන කරමි. චන්ද්‍රිකාට එරෙහි ලෝකයක් ගොඩනගමින් සිටි රාවයට මේ යථාර්ථය නොපෙනෙන්නට ඇත. නොඑසේනම් අයිවන් දැනගෙනම මේ ක්‍රීඩාවට සම්බන්ධ වන්නටත් ඇත. එහි ප්‍රබන්ධයක් ඇත්නම් මම මා දෙසම හැරී බලන විට නම් කිසියම් ප්‍රමාණයකට හෝ එදා මාද ඒ ප්‍රබන්ධයේ ගිලෙන්නට ඇති බවය. අයිවන් සම්බන්ධයෙන් ද ඇතැම් විට මේ පැහැදිලි කිරීම සාධාරණ විය හැකි මුත් මම ඔබට එවැනි යෝජනාවක් නොකරමි...''

'රාවය ට සාක්ෂියක්...' පිටු 68 - 69 ( 2008 ජුලි )

CHAPA

No comments:

Post a Comment