නන්දා ගෙ කඳුළු!
https://www.youtube.com/watch?v=PyED3z0FcdI&feature=youtu.be
අමරදේව මේ ලෝකයෙන් සදහට ම පිට මං වෙන්න හදන අතරෙ බොහෝ දෙනෙකුගෙ ඇස් වලට කඳුළු අවා, ඒ අතර නන්දා මාලනී ගෙ කඳුළු සුවිශේෂ යි. ඇය ම කියන හැටියට, දුප්පත් ලෝකයක අතරමං වෙලා ඉන්න පුංචි නන්දා මේ අද ඉන්න තැනට අරගෙන එන්න මැදිහත් වෙන්නෙ අමරදේව. ඇය මේ අඬන්නෙ, ඇය ගෙ මුළු ජීවිතය ම ඒ යටගියාව එක්ක පුපුරා හැලෙන මොහොතක!
නන්දා ගෙ නිර්මාණ හැකියාව ගැනත් තර්කයක් නැහැ. ඇය, අමරදේව කිට්ටුවට ම සම කරන්න පුළුවං නිර්මාණ පෞර්ෂයක්. අමරදේව ජාතියෙ හඬ ( පුළුල් අරුතින්! ) කියල ගත්තොත්, නන්දා එහි ස්ත්‍රී ලකුණ කියල ගන්න ම වෙනව. ඒ අර්ථයෙන් නං ඇය දැනටමත් තමන්ගෙ ඓතිහාසික කාර්ය භාරය සම්පූර්ණ කරලයි තියෙන්නෙ.
ඒත් තවම ත් අවසානයක් නැති සංවාදයක ට ඇය ඒ අතර අප කැටුව යනව!
88-89 අඳුරු භීෂණ සමය හෙමින් හෙමින් මෝදුවෙන අතරෙ, සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී ලංකා ඉතිහාසය අලුතෙන් ලියන්න පටන් ගන්නව. 'මුගුරක් අවැසි තැන මුගුරක් අතට ගනු...' සුනිල් ලියන්න පටන් ගන්නව - නන්දා ගයන්න පටන් ගන්නව. 'පවන' 'යාත්‍රා' මහා ගීත විප්ලවයත් එක්ක එදවස තාරුණ්‍ය ගිනියම් වෙනව. හන්තාන අඩවියෙ රුහිරු කැකෑරෙන්න පටන් ගන්නව. තරුණ තරුණියො, තමන්ගෙ දේශපාලන එළැඹුම සාධාරණීකරණය කරගනිමින්, කොන්දේසි විරහිතව මුගුරු වෙනුවට ගිනි අවි දරන්න පටන් ගන්නව. ඔය ජව සම්පන්න දේශපාලන හැඟීම්, මටත් පුද්ගලිකව දැනෙන්න ගන්නව, ඒත් හේතු ගණනාවක් නිසා කළමනාකරණය වෙනව.
රට පුරාම ගින්දර! අන්තිමට හැම දේම පිච්චිලා යනව - කවුරුවත් දිනන්නෙ නැහැ! කවදාවත් පිළිම නෙලෙන්නෙ නැති විරුවන් දස දහස් ගණනක් මිහිදන් වෙනව. පවන හිටි හැටියෙම මහා මුසල හඬක් නගාගෙන නවතිනව, යාත්‍රාව මාරාන්තික විදිහට හිරවෙනව. සියල්ල අවසන්!
සුනිල් ට, නන්දා ට කොහොමද මේ ඛේදවාචකය දැනෙන්නෙ? ඔවුන්ගෙ ගීත මුමුණමින්, ටයර් සෑයවල ගිනිගෙන පිච්චිලා ගිය ඒ තාරුණ්‍ය ගැන ඔවුන්ට ත් වගකීමක් පැවරෙනවද - නැද්ද? 1999 දි වගෙ, අඹගහවත්ත නොහොත් 'පොකුට්ටා' කියන ජවිපෙ කැරැල්ලෙ සන්නද්ධ ප්‍රාදේශීය නායකයෙක් මට හම්බ වුණා වැලිකඩ බන්ධනාගාරයෙදි - ඔහු ට ආපිට ගෙදර යන්න බැහැ කවදාවත්. ඔහු, නන්දා මාලිනී ගෙ පවන, යාත්‍රා නිතර මුමුණනව, ඒ දවස්වල ඔහු හිතාගෙන හිටියෙ ඒ මහා පවුරෙන් එපිට, ඔවුන් නවත්තපු තැනින් එහාට මොකක් හරි ජයග්‍රාහී යමක් සිද්ධවෙමින් තියෙනව කියල ( මේ ගැන Armyආමි පොතේ සටහන් වෙනව ). ඇත්තටම මේ 'මොකද ද?'එය විවෘත සංවාදයක්. ඊළඟට හැබැයි, 'නෝනා නානව නං නාන්න නෝනා...' කියල ඔවුන් කියනකොට, 'යනවා නං අනේ මං අරං, යන තැනකට යන්න රත්තරං...' කියල ආදරයෙන් කතාකරනකොට, ඒවා අහන්න නං අර කොල්ලො - කෙල්ලො මේ මිහිපිට ඉතිං නැහැ!
තව පැත්තක් ඒ අතර ඉතුරු වෙනව, මේ සංවාදයට ම අදාළ...
'උඩඟු ලියන් ගොතා බඳින, නීල වරල සරසන්න ට මා ඉපදුන් නැත මේ දෙරණේ...' කියල ඩෝල්ටන් අල්විස් (?) ගෙ ගීය එදා මල ක් වෙලා ගයන ඇය, තමා ඉපදුණේ රට වෙනුවෙන් සටනට යන රණ විරුවෙකු ගෙ පයට පෑගෙන්න කියල කියනව, ඊට පස්සෙ තවත් දේශාභිමානී ගී කීපයක්ම ඇය ගයනව, සිංහලේ කැලෑ තුළ සිංහ පැටවු දක්වාම ඇය ගෙ ඒ ජාතික ( ? ) හඬ විහිදෙනව. ඔය අතර තමයි ඇය, නිලම්ඹරේ සුදු පරෙවි රෑන් පියාඹන සිහිනය ගැන ගයන්න පටන් ගන්නෙ, අර සිංහ පැටවූ කතාව ඒ අතරම ඇය යටපත් කරල දානව.
එක පැත්තකින්, නිර්මාණකරණය ට සීමා මායිම් නැහැ! කියන තර්කය එනව, ඒක හරි. තවත් පැත්තකින් කියන්න පුළුවං ඒ ඒ සන්දර්භය ට අදාළ ව ඒ ඒ නිර්මාණ කෙරුණ කියලත්. ඒත් නිර්මාණ, සමාජය මත කරන බලපෑම ඒ ඒ නිර්මාණකරුවන්ට අදාළ ද? නැද්ද? ලංකා ආසන්න ඉතිහාසය ට අනුව ජාතික හැඟීම් උද්දීපනය, යුද්ධයට බලපෑවා - සාමය ගැන කතාකිරීමත් යුද්ධයට බලපෑවා. ඒ යුද්ධය සහ සාමය එකම කාසියක දෙපැත්තක් නිසා. නන්දා, මොන්ගොලියානුවන් ගෙන් පටන් අරගෙන, මිනිස් උරේ පලා ලේ පැහැය පරීක්ෂා කරනකොට, දේවල් හුඟාක් සිද්ධවෙලා ඉවරයි.
'නිදහස්' පත්තරය වෙනුවෙන් එදවස , මේ ගැන පුද්ගලිකව මහාචාර්ය සුනිල් ආරියරත්න එක්ක සාකච්ඡා කරන්න හැදුවත් ඒ සාකච්ඡාව කෙටිම කෙටි එකක් වුණා. නන්දා මාලිනී හම්බවෙන්න කීප වරක් උත්සහ කෙරුවත් සාර්ථක වුණෙ නැහැ. 'නිදහස්' කාර්යාලය තිබුණෙ නාවල, නන්දා ගෙ ගේ කිට්ටුව ම. දවසක් ඇය පාර පනින අතරෙ, මම ඒ දවස්වල කොණ්ඩය වවාගෙන හිටපු නිසා, නාරද බක්මීවැව කියල එක පාරට ම වැරදිලා දිග සුහද සාකච්ඡාවකට මුල පිරුව. ඒත් ඒ වැරදීම ඉතා කෙටි වෙලාවකින් අපි දෙන්න ම තේරුම් ගත්ත.
හැබැයි නන්දා, ඔබ ජීවිතය සහ ආදරය ගැන ගයන ගීත නං අසම සමයි!
සුනිල් - නන්දා සුසංයෝගය ඒ පැත්තෙන් නං විශිෂ්ටයි!
තව කතා හුඟක් තියෙනව, අමරදේව අර දුප්පත් නන්දා ව - නන්දා මාලනී දක්වාම කැටුව ආවනෙ, ඇය - නන්දා මාලනී, ඒ වගෙ නන්දලා කී දෙනෙක් දෑතට අරගෙන ඇවිල්ල තියෙනව ද? ඇය, නාවල නිවසෙ පුද්ගලික සංගීත පන්ති පවත්වන එක හොඳ වගෙම මේ ප්‍රශ්නයත් ඉතිං පැත්තක තියෙනව, ඇත්තටම, ඒ අපි උත්තර දන්නෙ නැති ප්‍රශ්නයක්. ඇයත් එහෙම කරල තියෙනව නං ඉතිං හෙට දවස එච්චර කළුවර වෙන එකක් නැහැ!
කොහොම වුණත් නන්දා!
ඔබ ත් අපේ ජීවිතයෙ අනිවාර්ය කොටසක්, අමරදේව වගෙම, ඉතිං, ඔබේ කඳුළුත් අපේ කඳුළුමයි!
CHAPA
No comments:
Post a Comment