අපේ ඔළුගෙඩි වලට උඩින් ඉමක් කොනක් නැතිව විසිරී පැතිරී තිබෙන අහස තලය හමුවේ මම අංශු මාත්‍රයක් බවට පත්ව සිටින්නෙමි. යුද ටැංකිය මත සිට අපට ආමන්ත්‍රණය කරන ආරක්ෂක අමාත්‍යවරයාට මම සවන් දෙන්නෙමි.
'මේ ගමන පටන් ගන්න අපි බොහෝ දෙනෙක් ගමන අවසානයේදී ආයෙත් කවදාවත් මුණ නොගැහෙන්න පුළුවං. ඒත් ඒ වෙන්වීම අපේ හෙට දවසේ ජයග්‍රහණය සඳහායි. යුද බිමේ මරණය ගෞරවයක්! සටනේදී ජීවිත පුජා කරන සොල්දාදුවන්ගෙ අම්මල, තාත්තල...සහෝදර, සහෝදරියෝ...බිරින්දෑවරු, දු දරුවෝ...රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙනවා ඒකාන්තයි!'
ආරක්ෂක ඇමතිවරයා ඇඟලාගෙන සිටි අඳුරු සුදු පැහැ ජාතික ඇඳුමට දවසේ අන්තිම හිරු කදම්භ වැටෙමින් තිබිණි.
රණවිරු සැදෑවක්!
රණවිරුවෝ අමරණීයයි!
ඔවුන්ගේ පවුල් පින්වන්තයි!
බම්බුව!
මැරිච්ච කොල්ලන්ගෙ වන්දි ගන්න පනාගොඩ කෑම්ප් එකේ රස්තියාදු වෙන උන්ගෙ ගෑනුන්ගෙන් ඇහුවොත් කියයි ඔය අමරණීය කමයි පින්වන්ත කමයි ගැන!
' ඔය ඔක්කොම බොරු විකාර, කුණුහරුප, මොනව හරි වුණාට පස්සෙ අපිට අපි විතරයි'
මා බැලීමට සිර කුටියට නිතර පැමිණෙන අබාධිත ගජබා සෙබළා කතා කරන්නට වෙයි.
'දැන් මගෙ කකුල නෑ, මම රණවිරුවෙක් ලු! ඒ වුණාට මේ ආමි එකේ ඔෆීස් එකකට ගියාම සලකන්නේ බල්ලෙකුට වගෙ, කිසිම වැඩක් කරගන්න බෑ, ලොකු එවුන් ට තමයි සේරම වාසි.'
'මේ තත්වෙම තමයි එල්ටිටිඊ එක ඇතුළෙත්, උන්ටත් යන එන මං නැහැ, උන්ගෙ මහා එවුනුත් උන්ට කියන්නෙ ඔය බණේමයි. දෙමළ විමුක්තිය වෙනුවෙන් මරාගෙන මැරෙන එවුන්..'මහා විරුවො' උන් අමරණීයයි ලු! මැරුණට පස්සෙ කොහොමද අමරණීය වෙන්නෙ?'
මම ඔහුට කියන්නෙමි. මොකද්ද වෙනස?
( Armyආමි, 2008 ජනවාරි, පිටුව 16 - 17)
No comments:
Post a Comment