Sunday, November 27, 2016

ආයෙත් දවසක ඔබ, ඔබේ බිරිඳ, ශාෂා...මම, අර පොත් පුරවපු පුංචි කාමරයෙදි හම්බවෙනව නං... 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු KMMB කුලතුංග ට ලියමි!

ඔබ, අප වෙසෙන මේ පියවි ලෝකය හැර දමා ගොස් දැන් වසර ගණනාවක් ගෙවී ගිහින්. ඒත්, මට වරින්වර ඔබ ගැන මතකය අලුත් වෙනව, විවිධ හේතූන් මත.
ඒ, 1998 - 2000 කාලය, 'රාවය' ට වැඩ කරන අතර දවසක, මම ඔබ මුණගැහෙන්න, කොහුවල පිහිටි ඔබේ නිවහනට ආව, ඒ වනවිට මම ඔබට දුරකථනයෙන් කතා කරල තිබුණත් දැකල තිබුණෙ නැහැ. මට ඒ දවස හොඳටම මතකයි! ඉතාමත්ම සුන්දර - උණුසුම් පිළිගැනීමක්!
ඊට පස්සෙ අපි දෙන්න අතර ඉතාමත්ම විධිමත් සංවාදයක් ගොඩ නැගෙන්න ගත්ත, ඔබට මතකද? ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියෙ ආධිපත්‍ය ගැන අපි එක දිගට සාකච්ඡා කරන්න ගත්ත, සාමාන්‍යයෙන් සතියකට වතාවක්වත් මම නොවැරදීම ඔබ මුණ ගැහෙන්න ආවා. විශේෂයෙන්ම, මම ඒ දවස්වල කරමින් හිටපු මාධ්‍ය ගවේෂණ සඳහා නීති විශේෂඥ දැනුම ඔබ නොමසුරුව ලබා දුන්නා, හිරවෙන තැන් ලිහිල් කරල දුන්න.
ඔබ මාව පිළිගත්තෙ දරුවෙක් සහ ශිෂ්‍යයයෙක් විදිහට. මට තවම මතකයි, මම එන්න කලින් වෙලාවක දුරකථනයෙන් ඔබට කියනව, මොනවද ඔබෙන් දැනගන්න ඕනෙ කියල. ඔබ එතකොට, ඒ සාකච්ඡාවට සූදානම් වෙනව. මම එනකොට, ඒ සඳහාම ගහපු සටහන්, ඇමුණුම්, පනත් සහ තවත් පොත්...ඔබේ මේසය මත උනන්දුවකින් බලාගෙන ඉන්නව. අපේ කතා බහ ඉතාමත්ම විධිමත්. ඔබට මතකද? දවසක් ඔබ ටිකක් නොරිස්සුම් සහගතව, මම ආපු ගමන්ම ලාච්චුවෙන් දිනපොතක් ඇදල ගත්ත. මම එනව කියල ඇවිත් නැතුව හිටපු දින කීපයක් ගැන ඔබ සටහන් තියල. නඩුවක්! මම සෑහෙන වෙලාවක් නිදහසට එක එක කරණා කියල තමයි චෝදනාවලින් ගැලවුණේ.
ඇත්තටම ඒ දවස් හරිම සුන්දරයි! කඩිසරයි!බලාපොරොත්තු සහගතයි!
මාධ්‍යකරුවෙක් හැටියට, දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට මම විවිධ වෘතිකයො ඇසුරු කරල තියෙනව. ඒත් ඔබ ඒ හැමෝටම වඩා වයසින් වැඩි - ඒත් තරුණ ම වෘත්තිකය, ඔබ වැඩ වලට සුදානම් වෙන විදිහ නියමයි! ඔබේ වෘත්තීය දැනුම සහ විශේෂයෙන්ම මතකය ඉතා ඉහළයි.
you are very serious!
සමහරු කියන විදිහට ඔබ විනිසුරුවරයෙක් විදිහට තද කෙනෙක්. අනුන්ට සවන් නොදීපු සහ තමන්ගෙ ස්ථාවරයෙම හිටපු කෙනෙක්. ඒ ගැන මට අත්දැකීමක් නැහැ. ඒත් ඒ හැමෝම එකඟයි ඔබේ අවංකභාවය ගැන. ඔබ කිසිම දේශපාලනඥයෙක් වෙනුවෙන් පෙනී හිටියෙ නැති බව, මොනම පැත්තකින් වත් දූෂිත නැති බව සහ ''රාජකාරිය දේවකාරියක් හැටියට'' කළ බව, ඔබේ නිල කාලය ගැන දන්න හැමෝම වගෙ පොදුවෙ පිළිගන්නව.
මේ සියල්ල අතරෙ, ඔබේ සොඳුරු බිරිඳ! වයස අභිබවා ගිය ඔබ සහ ඇය අතර තිබුණු ගෞරවනීය බැඳීම හරිම සුන්දරයි. ඔබ සහ මම දිග කතා බහක යෙදිල ඉන්න අතරෙ ඇය අනිවාර්යයෙන්ම රස කෑමත් එක්ක අපිට තේ අරගෙන එනව. එක දවසක්, මට අවශ්‍ය වුණා එක පනතක ඡායා පිටපත් වගයක් ගන්න, එතකොට රෑ 9 - 10 වෙලා, ඇය මාවත් නංවගෙන - කාර් එක එළවගෙන එහෙ මෙහෙ ගිහිං කොහොම හරි ඒ ඡායා පිටපත් අරගන්න උනන්දුවෙන් උදවු කෙරුව. ඔබ දෙපොළ සමග කෙටි කාලයක් සඳහා වුණත්, ගොඩනැගුණු ඒ පුදුමාකාර සම්බන්ධතාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ඔය අතර කාලයෙදි තමයි 'නිදහස්' පටන් ගත්තෙ. ඒ වැඩවලදිත් ඔබ මතවාදී විදිහට හෝ එක විදිහක ශක්තියක් වගෙ දැනුණ. ඒ අලුත් අවුරුද්දෙ ජනවාරි 1 වැනිදා ඔබ සහ ඇය තෑගිත් අරං නෑයො බලන්න අපේ 'නිදහස්' කාර්යාලයට ආව හැටිත් මට අද වගෙ මතකයි!  
එතකොට ඔබේ ආදරණීය 'ශාෂා'? මතකද? කරුණාවන්ත සහ තීක්ෂණ බැල්මක් තිබුණු බල්ලා! ඌ හැමදාම හිටියෙ ඔබේ පුටුව පිටිපස්සෙ, ඔබ දිහා බලාගෙනමයි ඉන්නෙ, අපි දෙන්නගෙ කතා බහත් ඕනෑකමින් අහගෙන හිටිය වගෙ.'' අනේ ඉතිං දැන් ශාෂාත් මං වගෙම වයසයි..එයත් ළඟදී යන්න යයි...මාත් ඉතිං යන්න ළඟනෙ...''  දවසක් ඔබ කිව්ව මතකයි. එතකොට මට මොකද්ද අමුත්තක් දැනුණ, මේ දැන් වගෙම.
ඔබේ පුතා, ගිහාන් කුලතුංගත් දැන් විනිසුරුවරයෙක්. ඒ දවස්වලවත් පස්සෙවත් මම - ඔහු මුණ ගැහිල නැහැ. මන්දිරා, ඔබේ දුවත් නීතීඥවරියක්, මට ඇය මතකයි, ඇයත් ඉතාම සුහද සහ කාරුණික කෙනෙක්.
මතකද? ඔබට අවශ්‍ය වුණා, ඔබ එතෙක් ලියා, ප්‍රකාශයට පත් නොවෙච්ච ලිපි එකතු කරල පොතක් කරන්න. ඒ ළඟ දවසක Sunday Times පත්තරෙ පළ වෙච්ච කුඩා දැන්වීමක් දැකල පුදුම වුණා. එයින් කියවුණේ, ඔබ සතු එම ලිපි එකතුවේ අයිතිය මට පවරනව කියල. ඔබටත් හිතුණ දේවල්! ඒ පිළිගැනීම නිසාම පොත කරනවමයි කියල මම හිතා ගත්ත, Disorder in Sri Lanka තමයි පොතේ නම.
ඒත් 'නිදහස්' ආර්ථික ශක්තියත් එක්ක ඒක එක විදිහක අභියෝගයක්! හැබැයි කොහොම හරි අපි වැඩේ කෙරුව. ඒත් අපි හිතපු විදිහට සංවාදයක් එක්ක පොත එළිදක්වන්න නං බැරි වුණා නේද ? තවමත් පොත හරියට සමාජ ගත වෙලා නැහැ, ලබපු නිරස අත්දැකීම් එක්ක, පොත් business කරන්න තියෙන මගෙ අකමැත්ත තමයි මෙතැන ලොකුම ප්‍රශ්නය. මේ ඔක්කොම අතරෙ, ඔබේ අවසන් කාලය තුළ දවසක මම ආවා ඔබ බලන්න. ඔබේ මතකය එතකොට ලෙහෙන්න පටන් අරං, ඔබට හුඟාක් දේවල් අඳුරගන්න අමාරුයි, ඒත් ටික වෙලාවක් එක එල්ලෙ මා දිහා බලාගෙන හිටපු ඔබ 'චාපා' කියල මට කතා කෙරුව.
ඇත්තමයි! මට ඔබේ ඒ හඬ තවම ඇහෙනව!
ආයෙත් දවසක ඔබ, ඔබේ බිරිඳ, ශාෂා...මම, අර පොත් පුරවපු පුංචි කාමරයෙදි හම්බවෙනව නං...
CHAPA
     

No comments:

Post a Comment