Tuesday, November 8, 2016

මල් පොහොට්ටුව පිපෙන්න නං...

'ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ' නමින් අලුත් දේශපාලන පක්ෂයක් බිහිවෙලා, බිහිවෙලා කිව්වට සිද්ධවෙලා තියෙන්නෙ, 'අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ' නමින් පැවති පක්ෂයෙ නම මාරු කරන එක. මේ පක්ෂයෙ ඉතිහාසය, ඇත්තටම 2004 දක්වා යනව. එය මුලින්ම පටන් ගන්නෙ, 'ශ්‍රී ලංකා ජාතික පෙරමුණ' හැටියට. 2015 දි තමයි අර දෙවැනි නමට මාරු වෙන්නෙ. කොහොම හරි පක්ෂ ලාංඡනය මල් පොහොට්ටුව.
කතාවෙ හැටියට, පහුගිය ඔක්තොබර් 13 වැනිදා, පක්ෂ මහා සභාව මේ තීරණය ගන්නව, එතකොට කලින් පක්ෂ සභාපති විදිහට හිටපු, විමල් ගීගනගේ  වෙනුවට මහාචාර්ය GL පීරිස් පත් කෙරෙනව. පක්ෂ ලේකම් නං දිගටම නීතීඥ සාගර කාරියවසම්.
මේ ගැන ජන මාධ්‍යයට අදහස් දක්වන ( නොවැම්බර් 2 ) අදාළ ලේකම්වරයා, කියන්නෙ 2015 ජනවාරි 8 න් පස්සෙ රට වේගයෙන් බෙදුම් වාදය කරා ගමන් කරනවා, ඒ නිසා අලුත් පක්ෂයක් ගොඩනගන්න ජනතාවගෙ විශාල ඉල්ලීමක් තිබුණා සහ දැන් තම අලුත් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට විවෘතයි කියල. ඒ, අතර එදාම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නෙ, ඒ පක්ෂය ඒකාබද්ධ විපක්ෂයෙන් සාකච්ඡාවක් ඉල්ලලා තියෙනව කියල. නව සභාපති GL පීරිස්, පහුගිය නොවැම්බර් 6 Hiru Hard Talk වලදි  කිව්වෙ, ඒකාබද්ධ විපක්ෂය කියමින් හිටපු නව පක්ෂය මේක තමයි කියල. බැසිල් එහි බිම් මට්ටමෙ සංවිධාන කටයුතු හොඳට කරනවා ලු! උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක දි කිව්වෙ ( නොවැම්බර් 7 ), ඒකාබද්ධ විපක්ෂයෙ, පක්ෂයක් නැතුව ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අයට මේ පක්ෂය හැදෙන්නෙ - මැතිවරණයකදි හිටපු ජනාධිපතිවරය යටතෙ පක්ෂ කීපයම එකතුවෙලා එක පෙරමුණකට එනව කියල.
වසුදේව නානායක්කාර නං කියන්නෙ ( නොවැම්බර් 7 ), මේ හෙමින් හෙමින් එන්නෙ අවතාරයක් ද දන්නෙ නැහැ බලන්න ඕනෙ කියල.
ආණ්ඩුව මේ යන ගමන නවත්වන්න ඕනෙ! ඒ ගැන කිසිම විවාදයක් නැහැ!!
ඒත් ඒකාබද්ධ විපක්ෂය මේ කරමින් ඉන්නෙ මොකද්ද? අලුත් පක්ෂයක් හඳුන්වා දීලා කරන්න හදන්නෙ මොකද්ද? ඒ විමසා බැලීම අතිශය වැදගත්, තීරණාත්මකයි!

GL

අපි දැන්, නව පක්ෂයෙ සභාපති මහාචාර්ය GL පීරිස් ගැන ටිකක් කතා කරමු. ඔහු, මුලින්ම දේශපාලන කරළියට එන්නෙ 1994, චන්ද්‍රිකා බණ්ඩාරනායක, එවකට හිටපු ජනාධිපතිවරිය සමග. ඇය, ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නව. අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා බවට පත්කරනව. නියෝජ්‍ය මුදල් ඇමතිකමත් දෙනව, බාහිර වෙළෙඳ කටයුතු, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා කටයුතු ත් භාර දෙනව. ඒ කියන්නෙ චන්ද්‍රිකාගෙ සමීපතම සගයෙක් සහ ප්‍රබල අමාත්‍යවරයෙක්. 1994 - 2001, අවුරුදු 7ක්! එතකොට GL, ඇයගෙ දුෂිත පාලනයෙ තීරණාත්මක කොටසක්. ඒ වගකීමෙන් ඔහුට ගැලවෙන්න බැහැ.
විශේෂයෙන්ම, චන්ද්‍රිකාගෙ බෙදුම් වාදී ඊනියා සාම වැඩසටහන කරගහගෙන ගිය ප්‍රධාන සෙන්පතියො අතර GL ඉදිරියෙන්ම හිටිය.චන්ද්‍රිකා කියන්නෙ UN ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරයෙ ඒජන්තවරියක්, මේ දැනුත්! ඇය එදා, 2000 දි, ඔවුන් වෙනුවෙන් නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට, GL තමයි ඒ විෂය භාරව හිටියෙ. මම, පුද්ගලිකව, 'රාවය' නියෝජනය කරමින් ඒ මොහොතෙ පාර්ලිමේන්තුව ඇතුළෙ හිටිය.
ඊළඟට, 2001 දි, ඔහු පැත්ත මාරු කරනව. එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා, චන්ද්‍රිකා ට විරුද්ධව 'එක්සත් ජාතික පෙරමුණ' හදන්න පෙරමුණ ගන්නව. ඒ අනුව 2001 - 2004 ඔහු, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්ක බැහැල ම වැඩ කරනව. රනිල්, ඔහුට තමයි, LTTE සාම සාකච්ඡා සඳහා පහසුකම් සලසන කාර්යභාරය පවරන්නෙ.
2004 දි, GL මෙන්න මහින්ද එක්ක! ඔහු එවර, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙ විදේශ කටයුතු අමාත්‍යවරය හැටියට 2015 දක්වා ආණ්ඩුව මාරුවෙනකං ම බලයෙ හිටිය. එවර ත් ඔහු ජාතික ලැයිස්තුවෙ හිටිය. ඒත් වැඩක් වුණෙ නැහැ. එතකොට මේ GL ගෙන් අපි මොනවද ඉල්ලන්නෙ? 1994 සිට මෙතෙක්, ඔහුට කරන්න බැරිවුණු, ඒත් කරන්න ඉතිරි, වෙන 'මොකුත්' එහෙම තියෙනවද?

එතකොට දැන්?

එතකොට අලුත් පක්ෂ ලේකම් අර කියන බෙදු වාදී කතාව සහ GL සාධකය ගලපගන්න ඕනෙ කොහොමද? දැන් ඉතිං මේ GL එක්ක හදන නව පක්ෂයෙන් මොකද්ද අපි රට වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නෙ? ඒ කියන්නෙ අනිත් කට්ටිය හොඳයි, GL විතරක් නරකයි කියල නෙවෙයි! GL තමයි පොදු සංඛේතය - ලකුණ. ඒකාබද්ධ විපක්ෂය කියල වෙන එකක් නැහැ, 'එකම' තමයි. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී - රනිල්, ජවිපෙ අනුර, අර පක්ෂයෙ එයා, මේ පක්ෂයෙ මෙයා...ඔක්කොම එකයි. 70 දශකයෙන් මෙපිට දේශපාලනය, වෙනම ගත්තොත් මේ ඔක්කොමල, රට මුහුණ දෙමින් තියෙන වර්තමාන දේශපාලන ව්‍යසනයට වග කියන්න ඕනෙ.
වැඩිය ඕන නැහැ! ආසන්න ඉතිහාසය පුරාවට, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...එක්සත් ජාතීන්ගෙ සංවිධානය ප්‍රමුඛ රාජ්‍ය නොවන ආයතන වලට ඕන විදිහට නෙවෙයි ද රට පාලනය වෙන්නෙ? රට ට ආර්ථික දිශානතියක් තියෙනව ද? ණය කන්දකට යටවෙලා, ඒ සල්ලිත් හොරකං කර කර - ඒ ණය කොන්දේසි වලට අනුව, නිදහස් අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය සේවාව සහ තවත් සමාජ සුබසාධන කටයුතු සියල්ල ක්‍රමානුකුලව දියකරමින් නේද අපි මේ අවුලක් නෑ!වගෙ ඉන්නෙ? රටේ, රාජ්‍ය ව්‍යවසායන් - ස්වභාවික සම්පත් විනාශ කරමින් සහ විකුණමින් නේද අපි මේ fun එක ගන්නෙ? කාටද රට හදන්න ඕනෙ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය කරන්න ඕනෙ, රට ඉදිරියට යා යුතු ගමන් දිශාව පිළිබඳ ගවේෂණාත්මක සංවාදයක් ගොඩනගන එක, තමන්ට වැරදිච්ච තැන් පරීක්ෂා කරන එක. ලෝක දේශපාලනය තුළ ලංකාව රටක් විදිහට ස්ථාන ගත කරන එක ගැන. ස්වීය ආර්ථිකයක් ගොඩනගන එක ගැන. කෘෂි ආර්ථිකයට පණ දෙන විදිහ ගැන. වැදගත්ම දේ මේකයි! රට බෙදුම් වාදය කරා නොයවන්න නං සිංහල, දෙමළ, මුස්ලිම් එකම රටක් විදිහට අපි හිටගන්න ඕනෙ. ඒ සඳහා, සාධාරණ ආර්ථික ක්‍රමයක්, යුක්තිය සහතික වන සමාජයක් ගොඩනගන්න ඕනෙ - සංවාදය ඒකමයි! ඒත්, එහෙම කිසිම සුදානමක ඔවුන් නැහැ, ආණ්ඩු බලය ආපිට ගන්නෙ කියන එක විතරමයි! ඔවුන්ට තියෙන්නෙ. නැවත බලය ගත්තත් ඔවුන් ට අලුතෙන් වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. එකම න්‍යාය පත්‍රය. මෛත්‍රී - රනිල් වෙනුවට ආයෙත් මහින්ද!
එච්චරයි...
මෙන්න මේ, නොසිතන - නොසිතෙන පොදු සාධකය පිළිබඳ නියම ලකුණ තමයි GL මේ දේශපාලන යථාර්ථය වටහා ගන්න තුරු, මල් පොහොට්ටුව පිපෙන්නෙ නැහැ, රට වෙනුවෙන් නං, මිත්‍රවරුණි!
CHAPA        

No comments:

Post a Comment