Friday, November 4, 2016

                               'ආවා' ගැන අමාත්‍ය රාජිත ට...

ඔබ, ජනමාධ්‍ය කැමරා ඉදිරියේ ප්‍රකාශ කරන්නේ, උතුරේ ක්‍රියාත්මක 'ආවා' නම් වූ සන්නද්ධ කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්වරයා ගේ උපදෙස් මත නිර්මාණය කර, ඔබත් පුද්ගලික ව හඳුනන හමුදා නිලධාරියෙක් විසින් මෙහෙය වූ බවයි.

ඔබ එදා මෙදා තුර කිසිදු වගකීමකින් තොරව කරන ජනප්‍රිය ප්‍රකාශ අතර මෙය හුදු ප්‍රකාශයයක් නොවන්නේ, පවතින ලෝක දේශපාලන තත්වයන් තුළ ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් තිබෙන 'ජාතික' පැවැත්ම සහ ආරක්ෂාව පිළිබඳ බරපතළ අභියෝගය, ඔබේ මේ ප්‍රකාශයට ඍජුව ම සම්බන්ධ වන බැවිණි.
කුමන තත්වයන් මත හෝ ලංකාව, තිස් වසරක යුද්ධයක මරණීය අත්දැකීම් ලැබූ බව සහ තවමත් එහි අළු යට ගිනි පුපුරු දිලිසෙමින් තිබෙන බව ඔබට දැන් අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. මේ මොහොත වනවිට, දෙමළ අන්තවාදී කොටස් සහ විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව කලාපීය වශයෙන් සහ ගෝලීය මට්ටමෙන් රටට කරමින් තිබෙන බලපෑම්, අපට වඩා මනාව, ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස ඔබ දැනගත යුතු බව ද දනිමු. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විවිධ ක්‍රම ඔස්සේ තහවුරු කිරීමට උත්සහ දරමින් සිටින්නේ, ලංකාව සාර්ථකව අවසන් කළ ( ප්‍රජාතන්ත්‍රවාදී කෝණයෙන්! ) දෙමළ ත්‍රස්තවදය ට මානුෂික අර්ථකථනයක් ලබා දීමටත්, ඒ අනුව ලාංකේය රාජ්‍ය හමුදා මානව හිමිකම් උල්ලංඝනය කරමින් යුධ අපරාධ  සිදු කළ බවත් තහවුරු කිරීමට ය. ඒ සියල්ල මැද උතුරේ සමාජ වට පිටාව ද මේ වන විට ක්‍රමානුකුලව අස්ථාවර වෙමින් පවතින ආකාරයක් ද දැක ගත හැකිය.
ඒ අනුව ඔබේ ඔය ප්‍රකාශය අතිශය බරපතළ බව පුන පුනා කිව යුතු නොවේ!
'යුද්ධය' සෑමවිට ම අසාධාරණය. මානව ඉතිහාසය පුරාවට පැවති සියලු යුද්ධ ඒ අනුව, සමාජ ව්‍යසනයන් සහ දේශපාලන පරාජයන් ය. ඒ අතර, දැනට පිළිගැනීම ට  සිදුව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආකෘතිය තුළ, නීත්‍යානුකුලව පවතින රාජ්‍යයක ට එරෙහිව අවි ඔසවන ඕනෑම කණ්ඩායමක් ත්‍රස්තවාදීන් ලෙස පිළි ගැනෙන අතර, අදාළ රාජ්‍යයයේ පොදු ජන පැවැත්ම වෙනුවෙන් එකී ත්‍රස්තවාදය මර්දනය කිරීමේ බලය සහ වගකීම අදාළ රාජ්‍යයට ව්‍යවස්ථානුකුලව ම පැවරේ. ලංකාව තුළ පැවති සහ අවසන් වූ යුද්ධය විග්‍රහ කළ යුත්තේ අන්න ඒ සංදර්භය තුළය.
එවැනි පසුබිමක, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ආරක්ෂක අංශ ත්‍රස්තවාදය මර්දනය කිරීමට යොදාගන්නා උපාය මාර්ග ඒ ඒ තත්වයන්ට අනුකුලව මිස වෙන වෙනම තම සිතැඟි පරිදි විස්තර කිරීම ඉතා ප්‍රාථමික බව ඔබ ට කිව යුතුය.
'ආවා' නමින් උතුරේ, ආරක්ෂක බුද්ධි අංශ හෝ වෙනත් හමුදා කණ්ඩායමක් ඇත්තටම  ක්‍රියාත්මක වුයේ ද? එහි අරමුණ කුමක් වුයේ ද? මේ දැන් උතුරේ ක්‍රියාත්මක එයම ද - එසේ නම් එහි අරමුණ කුමක් ද? එසේ නොවේ නම් මේ, ඒ නමින් එන වෙන කණ්ඩායමක් ද? එවිට ඔවුන්ගේ අරමුණ කුමක් ද? එය මෙහෙය වන්නේ කවුරුන් විසින් ද? ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය පිළිගන්නා පසුබිමක මේ සියලු ප්‍රශ්න, සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරු එක්ව පිළිතුරු සොයාගත යුතු ඒවා මිස, වෙනත් අංශයක් භාර ඔබවැනි අමාත්‍යවරයෙකු මාධ්‍ය කැමරා ඉදිරියේ කිසිදු වගකීමක් නැතුව කිව යුතු ජනප්‍රිය කතා නොවේ.
ඔබ ඇමතිවරයෙකු ලෙස කරමින් සිටින්නේ, තම රාජ්‍ය බලය අභිබවා යමින්, ආරක්ෂක අංශවලට සහ එමගින් ජාතික ආරක්ෂාව ට බරපතළ ලෙස බලපාන සහ යළි බේරා ගත නොහැකි මට්ටමේ අවුලක් ඇතිකිරීමය.
ඒ අතරම, 88-89 භීෂණ සමයේදී, ක්‍රියාත්මක වුණු 'ප්‍රා' සහ තවත් සන්නද්ධ කල්ලි සමඟ ඔබේ නම ද ඈඳී තිබෙන බව ඔබ අමතක නොකළ යුතුය. ඊළඟ ට, යුද්ධය පැවති සමයේ ඔබ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුම්කරුවෙකු ලෙස ආරක්ෂක අංශවලට කල් ඉකුත් වූ ඖෂධ ලබා දීමෙන් වරද කරුවෙකු වූ බව ද මෙහි ලා මතක් කළ යුතුමය ( ඒ සම්බන්ධයෙන්, එදා ඔහුට විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් නඩුව මෙහෙය වූ, වර්තමාන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍යයට කරන පැහැදිලි ප්‍රකාශය YouTube මුදා හැර තිබේ.)
මේ අනුව, පොදු ජනයා ද කොටස් කරුවන් වන 'රාජ්‍ය', වර්තමාන ආණ්ඩුව වෙනුවෙන් නියෝජනය කරමින් 'රාජ්‍ය' ය ටම එරෙහි ව ඔබ හැසිරෙන ආකාරය, ජනයා නොපැකිළිව ම ප්‍රශ්න කළ යුතුය!
එසේම ඔබේ ප්‍රකාශයෙන් හෑල්ලුව ට සහ අභියෝගය ට ලක්වන සේනාධිනායකයා වන ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඔබේ හැසිරීම ට එරෙහි ව වහාම පියවර ගත යුතු බව ද අවධාරණය කළ යුතුය!
CHAPA                     

No comments:

Post a Comment