Saturday, March 11, 2017

   මැදින් පෝය, අද!

මැදින් පෝය, අද!
'පෝය' කියන්නෙ හඳ එළිය හරහා 'බුදු දහම' පිළිබඳ මඟ සළකුණු වන විදිහ.
බුදු දහම කියන්නෙ ආයෙත්, හඳ ඇතුළු අනන්ත අප්‍රමාණ විශ්වය ජීවිතය හරහා තේරුම් ගන්න දහම, අවිද්‍යාව දුරුකරන විද්‍යාව.
බෞද්ධ බෞද්ධ කිව්වට මේ යථාර්ථය වටහා ගන්න උත්සහ කරන්නෙ කොච්චර සුළු පිරිසක් ද?
එකම ප්‍රශ්නය, බුදු දහම 'ආගමක්' බවට පත්වෙලා, දේශපාලන මෙවලමක් වන තැනදිම එහි ගැඹුරු සහ පුළුල් අන්තර්ගතය සීමාවකට කොටු වෙනවා. එය එතකොට, එක විදිහක භෞතික ලෝකයක්. කෙනෙක් තර්ක කෙරුවොත්, මේ බුද්ධාගම නිසා තමයි බුදු දහම පිළිබඳ දැනුම් පද්ධතිය, ආරක්ෂා වෙලා ඉදිරියට පවතින්නෙ කියලා ඒ තර්කයත් හරි.
ඒ අනුව තමයි, ලංකාවෙ දි, බුද්ධාගම ට රාජ්‍ය ආරක්ෂාව ලැබීම වැදගත් වෙන්නෙ.
කොහොම වුණත්, බුදු දහම පිළිබඳ ජීවන අත්දැකීම සරලයි, ඒත් සංකීර්ණයි. එය භාවිත අරුතෙන් අත්පත්කරගන්න ඕන දැනුමක් මිස කට පාඩමෙන් හෝ වචන හරඹයකින් දිනා ගන්න පුළුවං යමක් නෙවෙයි.
ඔබට කියන්නද, වෙනස් කතාවක්?
පහුගිය දවසක, මේ fb හරහාම, බුදු දහම පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනගාගන්න උත්සහ කෙරුවා, සමහර විට ඔබට මතක ඇති. අන්තිමට බුද්ධගම අයිතිකරගෙන ඉන්න කට්ටියක් නිසා බුදු දහම පිළිබඳ ඒ සංවාදය දියවෙලා ගියා.
දන්නවා ද? එක මිත්‍රයෙක් ඉන්නවා, මේ සංවාදය ගැන සෑහෙන්න උනන්දු වුණු. අන්තිමට ඔහු එක තැනක හිර වුණා. ඒ, සත්තු මරණ එක තමයි අකුසල කර්මය, ඒවා කන එක ප්‍රශ්නයක් නැහැ! කියලා කට්ටියක් තර්ක කරන්න ගන්නකොට.
''මමත් මේ කල්පනා කරන්නෙ ඔහොම එකක් එක සුත්‍රයක තියෙනවා වගෙ මතකයි...'' ඔහු කල්පනා කරන්න පටන් ගත්තා. දහම් පාසල් මට්ටමෙන් පටන් අරගෙන ශාස්ත්‍රාලීය දහරාවෙ ඉහළට බුද්ධාගම ඉගෙන ගෙන, යම්  විදිහක ධර්මානුකුල ජීවිතයක් ගතකරන ඔහු, මෙහෙම හිරවෙන්නෙ ඇයි?  මස් මාළු වලට තදින් ප්‍රිය කරන කෙනෙක් ඔහු. අන්න ඒ නිසා.
මෙතැනින් ඉස්මතුවෙන්නෙ මොකද්ද? බුදු දහම කියන්නෙ භාවිතයක් මිස වෙන යමක් නෙවෙයි කියන එක. මේ හරිම සරල තත්වයක්. මේ ප්‍රශ්නය බේරගන්න සුත්‍ර අදින්න ඕන නැහැ.
සියළු සත්වයන්ට නිදුක් නිරෝගී බව ප්‍රර්ථනා කරන අතර මොනම විදිහකටවත් සත්තු මරාගෙන කන්න බැහැනෙ. තමන්ගෙ ආරක්ෂාවටත් බැහැ. මේ සනාතන දහම ඒ පැත්තෙන් සරලයි.
ජීවිතයක, ඉපදීම, පැවතීම, මරණය...මේ සියල්ල දුකක් වෙන්නෙ, ඔය පරම යථාර්ථය ප්‍රයෝගික ලෝකය තුළ පවත්වාගන්න බැරි නිසා. එහෙම නං, ඔය මස් මාංශ අනුභවය ගැන, අපි මුළු හිතින්ම පිළිගන්න ඕන, මම මේ කරන්නෙ වැරද්දක් කියලා. එතකොට හිතට සහනයක් දැනෙයි.
එහෙම නැත්තං, බුදු දහම අමතක කරලා සාමාන්‍ය මිනිස් ලෝකයට මුහුණ දෙනවා, ඒකත් එක විදිහක්.
මේ මැදින් පෝය දවසෙ, ඔබට යෝජනා කරන්නෙ සරලම සරල දෙයක්.
බුදු දහම, ආගමක් කරලා, දේශපාලන මෙවලමකුත් කරලා තමන්ට ඕන ඕන දේවල් නොකර, බුදු දහම තුළ ගැඹුරින් ජීවිතය හසුරුවන්න උත්සහ කරමු. මෙතැන තර්කයක් හෝ ඒ හරහා ලැබෙන ජය - පරාජයක් නැහැ! ජීවිතය කියව ගන්නවා විතරයි.
අඩුම තරමෙ, මම කරන්නෙ වැරැද්දක් කියලා එකිනෙකාට දැනෙන්න පටන් ගත්තොත්, අපේ මේ ලෝකය කොච්චර වෙනස් වෙයිද? නේද?
CHAPA
March 12, 2017   

No comments:

Post a Comment