Wednesday, March 15, 2017

  හිත හදා ගන්න!


හිත හදා ගන්න! කියලා ඔබ කාට හරි කියන්නෙ මොන වගෙ අවස්ථාවක ද? හොඳට මතක් කරලා බලන්න, එක එක අය ඔබටත් එහෙම කියලා ඇති.
ජීවිතය සමහර වෙලාවට දුෂ්කර වෙනවා. අපි කැමතිම දේවල් සිද්ධ වෙන්නෙ නැහැ. නොහිතන දේවලුත් ඕන තරම් වෙනවා. එහෙම සිද්ධවෙන දේවල් නවත්තන්නම බැරි වග තේරුණොත් ''හිත හදා ගන්න'' වෙනවා.
''කමක් නැහැ! මොනවා කරන්නද?''
''එහෙනං එහෙමයි...''
''එන විදිහකට මුණ දෙනවා..''
ඔහොම තමයි ඉතිං අපි සාමාන්‍යයෙන් හිත හදා ගන්නෙ. ඒකත් එක විදිහක උපේක්ෂාවෙන් හිතන් විදිහක්. ඇත්තටම, පහසුවෙන් ජීවිතය ගෙනියන්න නං මේ භාවිතය ඕන. එය පුරුද්ද විදිහට හදා ගන්න ඕන.
හැබැයි මෙයින් කියවෙන්නෙ, අර සමහරු කරනවා වගෙ වැඩ අත හැරලා දාන එක නෙවෙයි. ඒ කියන්නෙ, අපේ සමහරු උනන්දුවක් නැති කම සහ විශේෂයෙන්ම කම්මැලිකම නිසා, ''ඔන්න ඔහේ ඉන්නවා!'' කියලා කරන්නං වාලෙ වැඩ කරගෙන යනවා.
මේ යෝජනාව ඊට වෙනස්.
මෙහෙම හිතන්න, යමක් සඳහා උපරිම කැපවීමෙන් සහ උනන්දුවෙන් වැඩ කරලත්, අවශ්‍ය ඉලක්කයට යා ගන්න බැරි වුණොත්? අඬලා දොඩලා දුක් වෙලා වැඩක් නැහැනෙ. ඊළඟ තත්වයට මුහුණ දෙන්න ඕන. ඒ අතර, වෙච්ච වැරැද්ද නැවත නොවෙන්න පරිස්සම් වෙන්න කල්පනා කරන එක, යම් පාඩුවක් හෝ අවාසියක් වුණා නං එය ආවරණය කරගන්න හැටි හිතන එක වැදගත්. ඉතිං එහෙම කරන්නත් හිත අවුල් කරගෙන බැහැනෙ.
හිත හදා ගන්න කියන්නෙ අන්න ඒකයි!
මතක තියා ගන්න, හිත හදා ගන්නවා කියන්නෙ පරාජයක් නෙවෙයි. පසුගාමී මානසික තත්වයකුත් නෙවෙයි. ඒත් එය නිර්මාණශීලී විදිහට කරන්න ඉගෙන ගන්න ඕන!
ඔන්න මේ අලුත් දවස, එහෙම නං හිත හදාගෙනම පටන් ගන්න! අලුත් විදිහකට...
ඔබට සුභ ගමන්!
CHAPA
2017 මාර්තු 16

No comments:

Post a Comment