Tuesday, March 14, 2017

   ගරු කරන්න! ඒත්...


ගරු කරන්න! ඒත්...
ඇයි ඒත් කියලා නැවැත්තුවේ? නේද?
ගරු කරන්න කිව්වාට, කාට ද? කොහොම ද? ඒවා ලොකු ප්‍රශ්න.
ඇත්තටම ''ගරු කිරීම'' කියන්නෙ මොකද් ද? එනකොට ඉඳගෙන ඉන්න තැනින් නැගිටින එක, ඔළුව ටිකක් නවලා ආචාර කරන එක, වඳින එක, ජපානය වගෙ රටවල් වල නං සම්ප්‍රදාය වෙන්නෙ ශරීරයම නවලා ආචාර සමාචාර කරන එක.
ඔය වඳින එකත් එක එක රටවල දි වෙනස් අරුත් ගන්නවා. ඊළඟට, කෙනෙකුට ගරු කරන ආමන්ත්‍රණ එහෙමත් තියෙනවා. ඒ අතර, 'ගරු' අහවලා කියලත් කියනවා.
සමාජය තුළ ප්‍රභූ තත්වයක් හදාගෙන ඉන්න අයට ගරු කරන්න ඕන කියන සම්මතය ලෝකය පුරාම වගෙ තියෙනවා, ඒ අතර පූජක පක්ෂය විශේෂයි. සමහර වෘත්තීන් තියෙනවා අනිවාර්ය ගරු කිරීම අයිති. හොඳම උදාහරණය විනිසුරුවරු. විනිසුරුවරයෙකුට ගරු කිරීම සඳහා සෙස්සන් නීතියෙන් පවා බැඳෙනවා.
මානව සමාජය පවතින්නෙ එකිනෙකාට ගරු කිරීම මත කියලා කෙනෙකුට කියන්නත් පදනමක්තියෙනවා. ''ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා!'' කියලා තර්ක කරන්නත් ඊලඟට පුළුවන්. 
ඔය ඔක්කොම ඔහොමම තියෙද්දි, අපි ආදරය කරන අයට සහ සමීපතයන්ට ගරු කරන එක ගැන ටිකක් හිතලා බලමු ද?
ඇත්තටම ඔබ එහෙම අයට ගරු කරනවා ද?
ගෙදර අය! අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියො, බිරිඳ සැමියා සහ දු දරුවො...තවත් නෑදෑයො, මේ එකිනෙකා ගැන, එකිනෙකාට තියෙන ගරු කිරීම කොයි වගේ ද? කොටින්ම, ඔබ ඔබේ පවුල තුළ දකින ගරුත්වය ගැන සතුටු ද?
සාමාන්‍යයෙන් වෙන්නෙ නං සමීප අයට තියෙන ගරු කිරීම, කාලයත් එක්ක අඩුවෙලා යන එක. ආදරයෙන් බැඳෙන දෙන්නෙක් අතර, කාලයක් යනකොට එකිනෙකාට තියෙන පිළිගැනීම වගේම ගරු කිරීමත් අඩුවෙලා දවසක නැත්තටම නැති වෙන්නත් ඉඩ තියෙනවා.
ම්ම්ම්..මෙහෙම කිව්වාට, ගරු කිරීම කියන්නෙ මොකද්ද කියලා, අපි හරියටම කල්පනා කරන්න ඕනෙ.
අර කලින් කියපු, එනකොට නැගිටින එක වගෙ දේවල් නං ඉතිං සංස්කෘතික පුරුදුනෙ. ඔහේ කරනවා. සමහරු සමහර වෙලාවට බයටත් කරනවා. කරන්නම වෙන නිසාත් කරනවා.
ගරුකිරීම තුළ ඇත්තටම දියුණු මට්ටමෙන් 'ආදරය' ගැබ්වෙලා තියෙනවා, හෙමින් හිතන්න!
ගරු කිරීම කියන්නෙ ආදරයෙම උපරිම අවධියක්.
හරියටම ගත්තොත්, ආදරය වැඩි වෙනකොට ගරු කිරීම වැඩි වෙනවා.
අපේ සම්ප්‍රදායික ගොවිතැන් බත් කරන ගැමියන්, තවමත් ස්වභාධර්මයට ගරු කරන හැටි බලන්න. ඔවුන් පොළොවට වඳිනවා, හරකා බානටත් වඳිනවා. කෘෂි උපකරණ වලටත් වඳිනවා. ගහ කොළ වලටත් වඳිනවා. ඒ කවුරුවත් කියන නිසා නෙවෙයි.
ඔවුන්ට බත සරි කරන දේ ගැන ඔවුන්ට තියෙන්නෙ අසීමිත ආදරයක්. බැඳීමක්.
මානව ශිස්ටාචාරය ආරම්භක අවධියේදී, නොතේරෙන දේවල් අදහන්න පටන් ගන්න එක නෙවෙයි මේ කියන්නෙ. ඒ අර්ථයෙන් ගස් ගල් වලට වඳින්න පුරුදු වෙච්ච එකත් නෙවෙයි. මේ, ආදරය සහ පිළිගැනීම එක්ක මුහු වුණු වෙනස් හැඟීමක්.
ඔබත් උත්සහ කරලා බලන්න, ''ආදරයට ගරුකිරීම සහ ගරුකිරීමට ආදරය'' එකතු කරන්න.
මෙහෙම කියන නිසාම බලන්නකො, ඔබට හිතා ගන්න බැරි තරමට ඔබේ ජීවිතය සුන්දර වෙයි!
සුභ දවසක් එහෙනං!
CHAPA
2017 මාර්තු 15


No comments:

Post a Comment