Tuesday, March 7, 2017

   ඔබ හිතේ අමාරුවෙන් ද?



ඔබ හිතේ අමාරුවෙන් ද?
ඇඟේ අමාරුව කියනකොට, අපට තේරෙනවා. ඒත් හිතේ අමාරුව?
සමහර විට මේ දැනුත්, ඔබ මොකක් හරි දේකට හිතේ අමාරුව හදාගෙන ඇති.
ම්...එහෙම කිව්වට, මොකද්ද මේ හිතේ අමාරුව?
මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඇතිවන තැවීමක්, කරපු කියපු දෙයක් ගැන පසු තැවීමක්, කරන්න බැරි වෙච්ච දෙයක් ගැන සංතාපයක්...
''අනේ! මම කරපු දේ නිසා එයා කරදරේ වැටුණා!'' අන්න එහෙම හිතෙන විදිහක්.
හිතේ අමාරුව කියන්නෙ ඇත්තටම දුකක්!
ඉතිං හිතේ අමාරුවක් නැතුව මිනිස්සු හැටියට අපට නං ඉන්න බැහැ. මොකකින් හරි, මොන මොහොතක හරි හිතේ අමාරුවක් එන්න පුළුවං. එතකොට කොහොමද අපි හිතේ අමාරුව අවම කර ගන්නෙ? තුනී කර ගන්නෙ?
සමහර වෙලාවට හිතේ අමාරුවක්, දවස් ගණන් තියෙන්න පුළුවං. වරින් වර මතු වෙවී ජීවිත කාලය පුරාම තියෙන්නත් පුළුවං.
එකම දේ, තමන්ට හිතේ අමාරුවක් තියෙන බව, තමන් දැන ගන්න ඕනෙ. පුළුවං කමක් තියෙනවා නං තමන් විශ්වාස කරන කෙනෙකුට ඒ ගැන කියන්න උත්සහ කරන්න. හැබැයි, එහෙම වෙලාවක අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන අවදානමකුත් තියෙන බව අමතක කරන්න එපා. සමහර අය, අනෙකාගෙ හිතේ අමාරුව, තමන්ගෙ වාසියට හරවා ගන්නවා. ඒ ගැනත් කල්පනා කරන්න. අඩුම තරමෙ, ''මං අද ඉන්නෙ පොඩි හිතේ අමාරුවක!'' කියලා කෙනෙකුට කියන අතරෙත්, හිතේ අමාරුව තියෙන කෙනාට, හිතට යම් සැහැල්ලුවක් දැනෙනවා.
ඒ අතර තුර, හෙමින් කල්පනා කරලා බලන්න, ඇයි මෙහෙම හිතේ අමාරුවක් හැදුනෙ කියලා.
හේතු හොයන්න. හේතු වලට පිළියම් යොදන්න පුළුවං ද කියලා බලන්න. නැවත නැවත හොඳ සිහියෙන් වෙච්ච දේ ගැන හිතන්න. ඔබට හදන්න පුළුවං, වැරදිච්ච් තැන් තියෙනවා නං, හදන්න දෙපාරක් කල්පනා කරන්න එපා!
වෙච්ච සමහර දේවල් නං ආයෙ කවදාවත් හදන්න බැහැ! කියන කටුක යථාර්ථයත් අමතක කරන්න එපා. ඒ නිසා එහෙම දේවල් වලට කොහොමත් ඉඩක් දෙන්නම එපා!
හිතේ අමාරුව තුනී වෙන්න, කාලය කියන සාධකයත් එක වෙලාවක උදව් කරනවා තමයි!
මොකුත්ම හිතන්නෙ නැතුව හොඳට නිදා ගන්න එක, විනෝදාංශ හෝ දවසේ වෙන වෙන ක්‍රියාකාරකම් වල යෙදෙන එකත් සමහර වෙලාවට හිතේ අමාරුව අඩු කරන්න හේතු වෙනවා.
මතකනෙ, අනෙකාගෙ හිතේ අමාරුව නං තමන්ගෙ වාසියට ගන්න එපා!
හරි! දැන් ඔබේ, හිතේ අමාරුවක් තියෙනවා නං මෙහෙම අලුතෙන් පටන් ගන්න.
ඔව්! මේ දැන්ම...
ඒ වගේම, හිතේ අමාරු නොහැදෙන සතුටුදායක දවසක් ඔබට!
CHAPA
March 8, 2017

No comments:

Post a Comment