Wednesday, March 15, 2017

        අන්තරේ ළහිරු ට...

සහෝදරත්වයෙන් ලියමි!
ළහිරු, ඔබ සහ ඔබ ප්‍රමුඛ අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයෙ ක්‍රියාකාරකම් ගැන, මේ වනවිට රට තුළ විශේෂ උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ඊට ආසන්නතම හේතුව වෙන්නෙ SAITM විරෝධී සටන. ඒ ජනතා උනන්දුවට ප්‍රධාන හේතුව මාධ්‍ය මැදිහත්වීම, විශේෂයෙන්ම රුපවාහිනී චැනල සහ ඊට සමගාමීව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මැවෙන උණුසුම් ප්‍රවෘත්ති.
මේ හොඳ දේශපාලන ප්‍රවණතාවක්!
ලෝක ඉතිහාසය පුරාවට, රටවල් කීපයකම ඉතා ප්‍රබල ශිෂ්‍ය ව්‍යාපාර ක්‍රියාත්මක වුණා විතරක් නෙවෙයි, ඒ දේශපාලන මැදිහත්වීම් නිසා ඉතිහාසය වඩා ජනතාවාදී ලෙස වෙනස් වුණා. මේ ශිෂ්‍ය අරගල පසුබිමේ තියෙන්නෙ විද්‍යාත්මක සමාජවාදය. අධ්‍යාපනය කියන්නෙ ජනතාවගෙ පරම අයිතියක්! කියන තේමාව දේශපාලනිකයි, ඒ නිසාම ඓතිහාසිකයි.හේතුව, අධ්‍යාපනය තමයි 'දැනුම' සම්පාදනය කරන්නෙ.
දැනුම තමයි ලෝකය වෙනස් කරන ගමක බලවේගය.
නුතන ධනේශ්වරය හෙවත් ගෝලීයකරණය හරහා දැනුම උත්පාදනය කරන අධ්‍යාපනය මුළුමනින්ම පොදු ජනයාගෙන් ගැළවෙනවා සහ එය ධනේශ්වරයෙ හිමිකරුවන්ට සහ ඔවුන්ගෙ නියෝජිතයන්ට සීමා වෙනවා. දුප්පත් කම සහ නුගත්කම එකට ගමන්කරන නිසා ධනේශ්වරය ඉදිරියට පවතින්න නං එහෙම කරන්නම වෙනවා.
මේ වනවිට, ලංකාව වගෙ රටවල් ණය උගුලක හිර කරලා, ''උඹලා, අතට අහුවෙන හැම දෙයක්ම විකුණාපල්ලා!අපේ ණය වාරික ගෙවාපල්ලා, අපේ එවුන්ට උඹලගෙ සම්පත් කොල්ල කන්න ඉඩ දීපල්ලා!'' කියලා දෙන උපදෙස් තමයි, JR ලා, ප්‍රේමදාස ලා, චන්ද්‍රිකා ලා, මහින්ද ලා, මෛත්‍රී - රනිල් ලා... සහ උන්ගෙ ගෝල බාලයන් දිගටම කරන්නෙ.
මේ අතර, රටේ පැවැත්මට අතිශය තීරණාත්මක, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව මුදලාලිකරණය කරලා ඉවරකරන එක විශේෂ මෙහෙයුමක් හැටියටම, පියවරෙන් පියවර ඉස්සරහට යනවා.
SAITM ජාවාරම සඳහා මෙච්චර සංවිධානාත්මක රාජ්‍ය ආරක්ෂාවක් ලැබෙන්නෙත් අන්න ඒ නිසා. අර කියන ඊනියා ජාත්‍යන්තරයට සහ ඒ වෙනුවෙන් කැපවන අපේ ඊනයා දේශපාලන නියෝජිතයන්ට නෙවිල් ප්‍රනාන්දු ලා - සමීර සේනාරත්න ලා තව තවත් ඕන!
පාර්ලිමේන්තුව නියෝජනය කරන එක ඊනියා ජනතා නියෝජිතයෙක්වත් ඊට ඇත්තට විරුද්ධ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව පෙනී හිටියත්, ඔවුන් තම පක්ෂ ආකෘතිය තුළම සිරගතවීම නිසා, අද වෙනකොට, නොදැනුවත්ව ම රටේ අර්බුදයෙ ප්‍රධන කොටසක් බවට පත් වෙලා.
ඔබට මේ සටහන ලියන්න ඉතිහාසය බලකරන්නෙ අන්න ඒ වට පිටාව තුළ.
ළහිරු!
මේ වනවිට ඔබ නොදැනුවත්ව ම, මේ ජනමාධ්‍ය වෙළෙඳපොළ තුළ ඔබ සහ ඔබ නායකත්වය දෙන මහා ශිෂ්‍ය ව්‍යාපාරය විකිණෙන්න පටන් අරං. හොඳට බලන්න! විවිධ සමාජ ක්‍රියාකාරිකයන් ඔබේ SAITM විරෝධී සටන සමඟ සම්බන්ධ වී සිටින බව කියවෙන ප්‍රවෘතිවල බොහෝ විට පේන්නෙ ඔබේ මුහුණ විතරයි, ඇහෙන්නෙ ඔබේ හඬ විතරයි. ඒ ඔබට තියෙන ජනප්‍රියත්වය නිසා කියලා වගෙ පෙනුණාට ඒකෙන් කෙරෙන්නෙ ඔය සටන් පෙරමුණ හකුළුවන එක.
ඒ අතරම, ඔබේ වේදිකාවට ගොඩවන හැම කෙනෙක් ම, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ආරක්ෂාකොට පෝෂණය කිරීම ගැන ප්‍රධාන - මූලික එකඟතාවක ඉන්නවා ද කියන ප්‍රශ්නයත් මෙතැනදී ම එනවා. හේතුව, ඒ සමහර අය මෙතෙක් කාලයක් ඒ වෙනුවෙන් පෙනී නොහිටපු සහ මේ ධනේශ්වර මෙහෙයුම වෙනුවෙන් පෙනීහිටපු අය.
මේ තත්වය ඉතාම සංකීර්ණයි!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් ඒ ඒ ප්‍රවෘතිවල සමාන ඉඩක් ලැබෙනවා වුණත් ඔවුන් පෙනී හිටින්නෙ, SAITM, එහි ප්‍රමිතිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අතර දෝලනය වන කාරණා සීමිත ප්‍රමාණයකට. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ගැන ඔවුන්ගෙ ලොකු දේශපාලන මැදිහත්වීමක් නැහැ. ඒ නිසාමත් තත්වය තව තවත් හැකිළෙන්න ගන්නවා.
ඔබට තවත් වැදගත් යමක් කියන්න තියෙනවා!
මාධ්‍ය කරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට, මම, රාවය සහ TNL ප්‍රමුඛ ප්‍රකට මාධ්‍ය ආයතන සමඟ සහ ඉන් අනතුරුව 'නිදහස්' නවමු මාධ්‍යයක් හඳුන්වාදෙමින්, මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ආරක්ෂාකරමින් පෝෂණය කිරීම ඇතුළු ජනතාවාදී රාජ්‍ය මැදිහත්වීමේ අවශ්‍යතාව වෙනුවෙන් දීර්ඝ කාලයක් අරගල කරමින් ඉන්නවා.
එහි උපරිම අවස්ථාව තමයි, මෙරට සියළු භූගත සහ මතුපිට ජල සම්පත් ඒකක මිලකට යටත්කොට විකුණා දැමෙන අතිශය මාරාන්තික වෙළෙඳ කුමන්ත්‍රණයට එරෙහිව, වසර 2000 පටන් සටන් කරන එක. ''ජල රකුසන්ට එරෙහිව...'' යනුවෙන් ඒ ගැන ලියැවෙන කෘතියට, NGOs ඒජන්තවරු 5 දෙනෙක් කෝටි 15 ගණනෙ අපහාස වන්දි ඉල්ලලා නඩු පැවරුවා.
ඔබ දන්නවා ද? මේ කිසිම ජනමාධ්‍යක් ඒ නඩුව ගැන වාර්තා කෙරුවෙ නැහැ. ඒ නඩුව ඇහෙනකොට, උසාවිය තුළ ඉතුරු වෙන්නෙ මමයි මගෙ නීතීඥ මිත්‍රයයි විතරයි. අවුරුද්දකට වැඩි කාලයක් උසාවියෙ රස්තියාදු ගහලා, තාක්ෂණික හේතු මත නඩුව ඉවත්කරවන්න අන්තිමට අපිට පුළුවන් වුණා. මුළු මානව ශිෂ්ටාචාරයටම අතිශය බලපාන සහ මේ ව්‍යාපෘතිය ලංකාවෙ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් නැති බැරි එවුන්ට සා පිපාසාවෙ මැරෙන්න සිද්ධවෙන, මේ මහා අවනඩුව මගෙ පුද්ගලික වැඩක් වුණේ කොහොමද?
මිනිස්සු දැන් ඉන්නෙ වෙළෙඳපොළ තුළ පිස්සු වැටිලා! උන්ට මොකුත්ම ඕන නැහැ. ජනමාධ්‍ය කියන්නෙත් මේ මාර්කට් එකේ ප්‍රබල කොටසක්. ඉතිං උන් වෙනුවෙන් ( අපි වෙනුවෙන්! ) කරන දේශපාලන අරගලය උන්ට ඕන නැහැ. අපට ඕන නං, ඒ ඕනකම වඩා විද්‍යාත්මකව වටහා ගන්න ඕනෙ. ඒ මත විධිමත්ව සංවිධානය වෙන්න ඕනෙ.
ළහිරු!මේ අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්න ඕන වෙන්නෙ, ඔබ ප්‍රමුඛ ශිෂ්‍ය අරගලය ගැන ආපිට හිත බලන්න ඔබට යෝජනා කරන්න!
මේ මොහොත ඉතාමත්ම හොඳයි! පවතින තත්වයන් ගැන ඔබේ හැදෑරීම් තීව්‍ර කරන්න. රටේ ඉදිරි ගමන් මඟ ගැන, ජනමාධ්‍ය ජනප්‍රියත්වය අභිබවා යන පුළුල් සංවාදයක් ගොඩනගන්න මැදිහත් වෙන්න. නිශ්චිත තේමාවන් ඔස්සේ ජනයා දැනුවත් කරන්න පුළුල් වැඩ පිළිවෙළකට මාරුවෙන්න.
මේ දැන්ම, මේ මොහොතේම...
එහෙම නැත්තං ඉතාමත්ම කෙටි කාලයක් තුළ ඔය අරගලය සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙනවා. සමහරවිට, මේ ඔබට, මට සහ අපට ලැබෙන අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන්.
ඔබට සහ ඔබ ප්‍රමුඛ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය!
CHAPA
2017 මාර්තු 16




2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපේ විශ්වාසය ගෞරවය දිනාගත්ත මාධ්‍යවේදීන් ගොඩක් රටේ නැහැ. එහෙව් රටක, චාපා කියන්නේ විශේෂ චරිතයක්. බැලු බැල්මට අන්තරේ කරන දෙය තේරුමක් ඇති දෙයක් කියලා නොපෙනුණත් හේතු දෙකක් නිසා පළමු වතාවට මට මේ ගැන කතා කරන්න හිතුණා. පළමු හේතුව, කොල්ලෝ කෙල්ලෝ ගුටිකාපු විදිහ දැක්කම හිතට දැනුණු දුක. දෙවෙනි හේතුව, "චාපා" මේ ගැන කතා කරන්න ඉදිරියට ආපු එක.

    හැබැයි, මේ වෙනකොට ලංකාවේ මිනිස්සු විදිහට අපි උද්ඝෝෂණ වලින් දිනාගත්ත යම්කිසි දෙයකට සාක්ෂි තියෙනවද? මම කියන්නේ Diplomacy හෝ උපක්‍රමශීලිව රජයට/දේශපාලනඥයින්ට මේ වගේ දේවල් වලින් පාඩු වෙන විදිහට හෝ කපටි දේශපාලනඥයින්ව කෙටවෙන විදිහට දෙයක් සැලසුම් නොකර; මිනිස් බලය ප්‍රදර්ශනය කරලා උද්ඝෝෂණ පමණක් කිරීමෙන් දෙයක් ලබාගන්න පුලුවන්ද? කොටින්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඒ මිනිස්සු උද්ඝෝෂණ කරද්දී ඉංග්‍රීසියෙන් ලියපු බෝඩ් අල්ලාගෙන හිටියා. ලෝකේ මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය ආයතන වලට ප්‍රවෘත්ති ලබාදුන්නා! ඒත්, අපේ අය කවදාවත් එහෙම කරන්න හිතලා නැහැ නේද? ඉතින්, මේ රටවල් වල මිනිස්සු ඔය වීඩියෝ එකක් දැක්කත් හිතන්නේ නිකම්ම නොහික්මුණු පිරිසක් අර කොලොම්බියාවේ ග්වටමලා වල කැරලි ගහනවා වගේ දෙයක් කියලා.

    දේශපාලනඥයින්ට වඩා මොලේ තියෙන පිරිසක් වෙච්ච එකේ; විශ්වවිද්‍යාල සිසුන් සහ වෛද්‍යවරුන්ට හැකියාවක් තියෙනවා නේද ඔය කෑලි එකතු කරලා ගහපු පක්ෂ සන්ධාන වලට වඩා බලවත් (නොබෙදුන) සංවිධානයක් බිහිකරලා බලපෑමක් එල්ල කරන්න? එහෙම වුණොත් ඔය දේශපාලනඥයින්ට වඩා හොඳට ජාත්‍යන්තරය දිනන්නත් එයාලට පුළුවන්. ඒ වගේම ඉතාම සාමකාමී විදිහට දේශපාලනඥයින්ගේ දේශපාලනමය-මරණ-වරෙන්තු ලියවන්නත් එයාලට පුළුවන් (මම කිව්වේ මිනි මරණ එක නෙවෙයි; එයාලගේ දේශපාලන ගමන නිමාකරවන එක)! හැබැයි තමන්ගේ වැඩේ කෙරුනට පස්සේ තමන් එක්ක හිටපු, තමන් විසින් නියෝජනය කෙරුණු පිරිසට හෙනගහපන් කියලා සල්ලි පස්සේ දුවන මිනිස්සු නම් ඉන්නේ, ඔය මම කියපු දෙය කෙරෙන්නේ නැහැ.

    ReplyDelete