Saturday, March 18, 2017

  Dear Doctors!


දයාබර රජයේ වෛද්‍යවරුන්ට ලියමි.
ආමන්ත්‍රණයේදීම 'රජයේ වෛද්‍යවරු!'' යනුවෙන්, සමස්ත වෛද්‍යවරුන්ගෙන් කොටසක් වෙන්කරගෙන කතා කරන්න සිද්ධවුණත්, මේ ආමන්ත්‍රණය සමස්ත වෛද්‍යවරුන්ටම අදාළයි.
රජයේ වෛද්‍යවරු මෙතැනදි විශේෂ වෙන්නෙම, ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නිසා. ඒ සංගමය මේ මොහොතේ වැදගත් වෙන්නෙම, SAITM ජාවාරම කේන්ද්‍ර කරගත්, ලාංකේය වෛද්‍ය සේවාවට ඍජුවම සම්බන්ධ මහා අර්බුදය නිසා.
ඉස්සර වෙලාම ලියන්න ඕනෙ, ඔබ සහ ඔබේ පෙර පරම්පරාවන් අඛණ්ඩව, මහන්සියෙන් සහ කැපවීමෙන් වැඩකරලා තමයි රටේ සමස්ත වෛද්‍ය සේවාව මේ තත්වයට ගෙනල්ලා තියෙන්නෙ. යම් යම් අඩු පාඩු තිබුණා වුණත්, ලෝකයෙ හුඟාක් රටවල්වලට වඩා අපි සෑහෙන දුරක් ඉස්සරහින් ඉන්නවා. ඒ, ප්‍රමිතියෙන් ඉහළ සහ ජනතාවාදී වෛද්‍ය සේවාවක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යමින්. එහි පදනම තමයි නිදහස් අධ්‍යාපනය සහ සුභ සාධන රාජ්‍ය ක්‍රමය තුළ ගොඩ නැගුණු සමාජ හර වටිනාකම් පද්ධතිය.
ඉතිං මේ විවෘත ලියැවිල්ල සකස්කරන්න හේතුව, මීට පෙර, ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ට, මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ විවෘත ලියැවිල්ලට (http://chapabandara.blogspot.com/2017/03/dr.html?spref=tw), දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරන රජයේ වෛද්‍යවරු, දුරකථන මාර්ග ඔස්සේ පවා දක්වමින් තිබෙන ප්‍රතිචාර නිසා.
ඔබ බොහෝ දෙනෙක් කියන පරිදි, ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, SAITM ජාවාරම සම්බන්ධයෙන් පෙනී සිටින ආකාරය පිළිබඳ යම් අවිනිශ්චිත තත්වයක් දැන් දැන් මතුවෙමින් තියෙනවා. විශේෂයෙන්ම, වෛද්‍ය පාදෙණිය, ජනාධිපති මෛත්‍රී සමඟ පුද්ගලික සම්බන්ධතාවක් පවත්වාගනිමින්, SAITM ජාවාරමට එරෙහිව ගොඩනැගී ඇති විරෝධතාව ක්‍රමානුකුලව දියකර හරින්නේද යන සැකය ඇත්තටම දැන් විධිමත්ව හොයා බලන්නම වෙනවා.
විශේෂයෙන්ම, වෛද්‍ය පාදෙණිය උනන්දුවෙන් කතාකරන, ''වෛද්‍ය අධ්‍යාපනයෙ අවම ප්‍රමිතිය'' ප්‍රකාශයට පත්කිරීම සහ SAITM ජාවාරමට එරෙහිව නීතිමය පියවර ගැනීම අතර කිසිදු ආකාරයක සම්බන්ධතාවක් නැහැ. මේ ගැන මගේ අර කලින් ලියැවිල්ලෙ ප්‍රශ්න කර තිබු නිසාම, මට පුද්ගලිකව කතා කරපු ඔබ කීප දෙනෙක්ම මේ ගැන යළි යළිත් කතා කෙරුවා.
SAITM ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක විය යුතු ආකාරය මෙතැන දි නැවත අවධාරණය කරන්න දැන් ඉඩ දෙන්න;
( උපුටා දැක්වීම)
1. SAITM, ජාවාරමක් නිසා එහි ක්‍රියාන්විතය වහාම අත් හිටුවිය යුතුයි!
2. SAITM ජාවාරමට එරෙහිව නීතිය ක්‍රයාත්මක කළ යුතුයි! සහ අදාළ ඇමතිවරු ප්‍රමුඛ එකී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට එදිරිව නීතිමය පියවර ගත යුතුයි!
3. SAITM ජාවාරම තුළ අගතියට පත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් අවශ්‍ය සහ සුදුසු පියවර ගැනීමට, පහහ සඳහන් පාර්ශයන් සම්බන්ධ කෙරෙන කමිටුවක් බලගැන්විය යුතුයි;
A ) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
B ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව
C ) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
D ) සෞඛ්‍ය අමාත්‍යාංශය
E ) ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
F ) විශ්ව විද්‍යාල උපකුලපතිවරු සහ
G ) තවත් අවශ්‍ය වගකිව යුතු පාර්ශව
CHAPA in Kandy, Feb 28, 2017
( උපුටා දැක්වීම අවසන් ) 
මේ ගැන, මෙතෙක් කතා කළ ඔබ හැමෝම එකඟයි. SAITM ජාවාරමට විරුද්ධ, අනෙක් වෛද්‍යවරුන්ටත් මේ සම්බන්ධයෙන් විරුද්ධ අදහසක් නැතුව ඇති.
කොහොම වුණත්, දැන් ඔබ සියළු දෙනා ක්‍රියාත්මක විය යුතුයි!
වෛද්‍ය පාදෙණිය මත විශ්වාසය තියලා ඔහේ බලාගෙන ඉන්න පුළුවන් පුංචි ප්‍රශ්නයක් නෙවෙයි මේ. SAITM ජාවාරම් කරුවන්, විෂය භාර කැබිනට් ඇමතිවරු, ජනාධිපතිවරු, පොලිසිය - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂයෙන්ම අධිකරණය පවා එකට එකතුව ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් සකස්කරමින් ඉන්න මේ 'මහා අපරාධය' රට තුළ නීත්‍යනුකුලව ස්ථාපිත වුණොත්, දැනටමත් පිඹුරුපත් සකස්කොට තිබෙන, ''නිදහස් අධ්‍යාපන අවස්ථා සියල්ල සහ සෞඛ්‍ය සේවාව මුළුමනින්ම අහෝසිකරන'' ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍ෂණිකව ශක්තිමත්ව, හිතාගන්න බැරි වේගයකින් මේ රට අඳුරු දිශාවකට තල්ලු කරනවා.
ඉතිං ආදරණීය වෛද්‍යවරුණි!
ඔබ අතර තිබෙන විවිධ වෙනස්කම් මේ ඉලක්කය වෙනුවෙන් අත් හරින්න. ඔබ පුද්ගලික ප්‍රතිකාර ( PP ) කරනවාද! නැද්ද! අදාළ නැහැ. වහාම එකතුවෙන්න, සංවිධානය වෙන්න! ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, මේ මොහොතේ යා යුතු දිශාවට ගමන්කරනවා ද? පීල්ල මාරු කරනවා ද? වහාම නිරීක්ෂණය කරන්න, මැදිහත්වෙන්න. මේ දැන්ම වෛද්‍ය පාදෙණිය ප්‍රමුඛ අදාළ සංගම් නිලධාරීන් සමඟ සංවාදයක් ගොඩ නගාගන්න. මහා සභාවක් කැඳවා ගන්න!
රජයේ නොවන වෛද්‍යවරුන්ට මේ කියන්නෙ!
ඔබට අවශ්‍ය ජීවිතය ඔබ දැන් ගතකරනවා. රජයේ වෛද්‍ය සේවාව ගැන ඔබේ කිසිම උනන්දුවක් නැතුව ඇති. ඒත් ඔබ ඔතැනට ආවෙ, රටේ ජනයාගෙ මුදලින් ඉගෙනගෙන නේද? ඒ අවස්ථාව ඊළඟ පරම්පරාවලටත් ලබා දෙන්න අධිෂ්ඨාන කරගන්න.
හොඳයි! ඔබ සල්ලිකාර පවුලක කියලා හිතමු, පුංචි කාලයේ සිටම ඉගෙන ගත්තෙ පිට රටවල හෝ මෙරට පුද්ගලික පාසල් වල, තම පවුලේ ධනයෙන් කියලා මොහොතකට හිතමු. ඒත්, ඔබ ඔහොම සදාකාලිකව ඉන්නෙ නැහැ, ඔය හැමදේම දාලා යන්නම යන්න වෙනවා. ඇස්දෙක පියාගෙන දැන් හිතන්න, මරණයෙන් මතු යළි උපදින්නෙ කැලෑබද පුංචි ගම්මානයක දුප්පත් අම්ම කෙනෙකුට දාව කියලා, එහෙම වුණොත් එදාට ඔබ නොවන ඔබට වෙන්නෙ මොකද්ද කියලත් නිකමට හිතන්න.
එන්න! හැමෝම එකතුවෙන්න!
හෙට පමා වැඩි වෙනත් පුළුවන්!
මේ අපේම රට,  අපේම මිනිස්සු, අපේම අනාගතය!
CHAPA
2017 මාර්තු 18

         

No comments:

Post a Comment