Sunday, March 26, 2017

   මැරෙන්නම හිනාවෙමු!


මැරෙන්නම හිනාවෙමු!

එන්න! අපි හිනා වෙමු!
හැමදේටම හිනා වෙමු! අපි, අපටත් හිනාවෙමු!
සියල්ල විකුණන, සියල්ල විකිණෙන මේ මහා වෙළෙඳපොළ තුළ, ඊට වෙනස් යමක් 'පවතින්නෙ' කොහොමද?
සියල්ල අභිබවන මේ 'වෙළෙඳපොළ බලය' මේ වනවිට, සියල්ලට හිනාවෙන සහ සියල්ල හිනාවට ලක්කරන ක්‍රමවේදයක් අපට උගන්වමින් ඉන්නවා. එතකොට අපට යථාර්ථය මගහැරෙනවා. සාපේක්‍ෂ සත්‍ය සහ සාපේක්‍ෂ අසත්‍ය එකට පටලවනවා. යමක් හෝ යමෙක් මරා දාන්න ඒ තරම් සුක්‍ෂම ක්‍රමයක් තවත් කොහෙන්ද? අතීතය පුරාමත් මේ අත්දැකීම් තියෙනවා, ඒත් නුතන තාක්‍ෂණය නිසාම ඒ විධික්‍රමය අසීමාන්තික විදිහට දියුණු වෙලා.
මේ වනවිට, නුතන ධනේශ්වරය, ඉතා සංවිධානාත්මක සහ සැලසුම්සහගත ලෙස 'සියල්ල Joke කරන' ඒ නුතන දේශපාලනය, වසංගතයක් විදිහට ලෝකය පුරා පතුරුවමින් ඉන්නවා.
19 - 20 සියවස් අතර කළ තීරුව නව හාස්‍ය රසයක් ලෝකයට හඳුන්වා දුන් චාර්ලි චැප්ලින්, එක පැත්තකින්, ජර්මානු ආඥාදායකයා, ඇඩොල්ෆ් හිට්ලර් ගෙ රූපය අනුකරණය කෙරුවා කියන කතාවත් මෙතැනට අදාළයි. හිට්ලර් බිඳ වැටෙන්න ''චැප්ලින් හාස්‍යයේ දේශපාලන'' යත් බලපෑවාද නැද්ද කියන සංවාදය වෙනම තියෙනවා.
ඒ අතර තුර සංවර්ධනය වන වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය සහ කාටුන් සහ විශේෂයෙන්ම කාටුන් ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍ය නිසා මේ හාස්‍ය රසය වඩා දේශපාලනික මෙවලමක් බවට පත්වෙනවා. 
හොඳම උදාහරණය තමයි රෝම අධිරාජ්‍යයා, ජුලියස් සීසර් හුරතල් කාටුනයක් බවට පත්වෙලා, මුළු ග්‍රීක - රෝම ඉතිහාසයම හිනාවට ලක් කරන විදිහ. 
එය ගෝලීය මට්ටමෙන් ළමා මනස වෙනස් කරන්න හේතු වුණු බලවත් මෙහෙයුමක් බව අවිවාදිතයි. ඒ අනුව, ඉතිහාසයෙ ඉදිරි පරම්පරා තුළ යුරෝපා ඉතිහාසයම විහිළුවක් බවට පත් කෙරෙනවා. මේ එක උදාහරණයක් විතරයි.
මේ වනවිට ලෝකය අත් පත් කර ගනිමින් ඉන්න සමාජ මාධ්‍ය ජාල හරහා මේ Joke කිරිල්ල බිහිසුණු විදිහට ව්‍යාප්ත වෙන්න පටන් අරං තියෙන බව, සියල්ල පරිස්සමට නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිලි වෙනවා.
එය නුතන ධනේශ්වරය ලබන අසාමාන්‍ය ජයග්‍රහණයක්!
අපි දැන් ලංකාව දිහා බලමු!
මේ රටේ හුඟාක් අත්වල තියෙන ජංගම දුරකථන හරහා fb ඇතුළු සමාජ මාධ්‍ය ජාලා පුරා, මේ වනවිට එහා මෙහා වෙමින් තියෙන අදහස්, උදහස් සහ තොරතුර දිහා බලනකොට පැහැදිලි වෙන්නෙ, සියල්ල 'නූගත් හාස්‍යය' කට ගොදුරුවන බව. එය සමහරවෙලාවට ඉතාම ප්‍රාථමික මට්ටමකටම වැටෙනවා.
විශේෂයෙන්ම, තරුණ කොටස් මේ හරහා අත්පත්කරගන්න හදන සමාජ බලය ( දේශපාලන බලය! ) ඉතාමත්ම අනතුරුදායකයි.
වඩා භයානක වෙන්නෙ, මේ 'තරුණ නූගත් ජවය' දියුණු සහ සුක්‍ෂම ව්‍යාපාරික දේශපාලනයක් සඳහා පාවිචිවෙන්න ඉඩ තියෙන එක. 
මේ දිග කතාව දැනට කෙටි කරන්නං!
අපට, හැමදේම විකුණන්න බැහැ, හැම දේම විකිණෙන්නෙත් නැහැ!
හැම දෙයක්ම Joke එකක් නෙවෙයි, හැමදේකටම අපට හිනාවෙන්න බැහැ. අපිට, කොහොමටවත් අපටම හිනාවෙන්න බැහැ.
ඔව්! අපි දිගටම මේ ගැන කතාකරමු!
ඒත් කල්පනාවෙන්!
අපි හිනාවෙමු, ඒත් මැරෙන්නම හිනාවෙන්න නං බැහැ!
CHAPA 
2017 මාර්තු 26

 

No comments:

Post a Comment