Monday, March 6, 2017

CWW කන්නංගර ට ලියමි, 

හඃ! අපේ මිනිස්සු ඔබව ප්‍රතික්ෂේප කෙරුවා එහෙනං!


ලංකාවෙ අපට, ඔබ මග හැරුණා! ඇත්තමයි!
අපි හරිම මෝඩ, තකතීරු සහ ගොන්ම ගොන් රැළක්. අපට වැරදුණා විතරක් නෙවෙයි, ඔබ මේ රටෙන් සදහටම සමු අරගෙන අවුරුදු 48 ක් පමණ ගෙවී ගියත් ඔබ එදා රට වෙනුවෙන් ඉදිරිපත් කරපු, ''නිදහස් අධ්‍යාපනය'' පිළිබඳ ඓතිහාසික යෝජනාව ගැන අපේ අති බහුතරය, එදා වගේම අදත්, 2017 මාර්තු 6 දා, මේ දහවල වනවිටත් කිසිම උනන්දුවක් දක්වන්නෙ නැහැ.
මම මතක් කරලා දෙන්නං!
ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර, ඔබ ඉපදුණේ 1884 ඔක්තෝබර් 13 දා. ඒ බලපිටිය ප්‍රදේශයෙ, රන්දොඹේ ගමේ දි. මිෂනාරි පාසලෙන් ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයට එන ඔබ, හොඳ ක්‍රීඩකයෙක්, කථිකයෙක් සහ නළුවෙක්. ගුරුවරයෙක් විදිහට වෘත්තීය ජීවිතය පටන් ගන්න ඔබ පසුව, නීතිඥයෙක් සහ දේශපාලනඥයෙක් බවට පත්වෙනවා.
ඇත්තටම ඔබ දේශපාලනය පටන් ගන්නෙ, අනගාරික ධර්මපාල ව්‍යාපාරය සමඟ සම්බන්ධවෙමින්, නිදහස් ලංකාවක් වෙනුවෙන්. පසුව, රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ ( State Council of Ceylon ) ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වෙන්නෙ ඔබ.
ඔබට මතක ද?
1942 දි ඔබේ සභාපතිත්වයෙන්, රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන විශේෂ කමිටුවක් පත් කෙරුණා. ඒ වාර්තාව ප්‍රකාශයට පත් වෙන්නෙ, 1943 දි.
ඒ වාර්තාව අනුව;
1. හැම ළමයෙකුටම, බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිළේ අධ්‍යාපනය ලබා දෙන්න ඕනෙ.
2. ප්‍රාථමික පාසල් මට්ටමේදී, තම මව් බසින් අධ්‍යාපනය ලබා දෙන්න ඕනෙ.
3. iii වැනි අදියරේ සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න ඕන.
4. ඔළුව, හදවත සහ දෑත් ශක්තිමත් කරන සහ එමඟින්, යහපත් දරුවෙක් නිර්මාණය කෙරෙන අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවිය යුතුයි.
මෙහි අරමුණ, ජාතියට නිශ්චිත වටිනාකමක් දීම බව, ඔබ ප්‍රමුඛ, කමිටුව නිර්දේශ කරනවා.
ඉතිහාස සටහන් වලට අනුව, මේ පනත සම්මත කරගන්න, ලංකාවෙ ප්‍රථම අගමැති, DS සේනානායක සමඟ, පැය 6 1/2 ක දීර්ඝ සාකච්ඡාවක් කරන්න ඔබට සිද්ධ වෙනවා.
ඊට සමගාමීව ආචාර්ය EW අධිකාරම්, මහාචාර්ය GP මලලසේකර සහ LH මෙත්තානන්ද ඇතුළු කණ්ඩායමක්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මහජන ව්‍යාපාරයක් දියත් කෙරුවා. කොහොම හරි, HW අමරසූරිය, ඩඩ්ලි සේනානායක, JR ජයවර්ධන, ඔලිවර් ගුණතිලක සහ ආචාර්ය NM පෙරේරා, එදා මේ පනතට පක්ෂව ඡන්දය දීපු බව ඉතිහාසයෙ සටහන් වෙනවා.
එදා මේ ආරම්භය නොවෙන්න, අපි තවමත් නූගත්ම නූගත් ගෝත්‍රික රටක් වෙන්නත් ඉඩ තිබුණා. මේ නූතන තාක්ෂණය හරහා ඔබට ලියන්න, මට පුළුවං වෙන්නෙත් ඒ නිසාම තමයි.
ඔබ නොදන්නවා වුණාට, මමත් නිදහස් අධ්‍යාපනයෙ දරුවෙක්!
ඇත්තටම, මට තාමත් හිතාගන්න බැරි කාරණය තමයි, ජාතියට මෙච්චර නායකත්වයක් දීපු  ඔබ, 1947 දි පැවති මැතිවරණයෙන්, ඔබ තරඟ කළ මතුගම ආසනය පැරදුණු විදිහ!
හඃ! අපේ මිනිස්සු ඔබව ප්‍රතික්ෂේප කෙරුවා එහෙනං!
මතුගම මිනිස්සු, එදා දිනවන්නෙ විල්මට් පෙරේරාව. ඒ කවුද? ඒ තමයි, ශ්‍රී පාලි පුද්ගලික විද්‍යාලයෙ හිමිකරු! ඒ කියන්නෙ, මතුගම මිනිස්සු කිව්වා, ''අපිට නිදහස් අධ්‍යාපනය නං එපා! අපෙන් සල්ලි ගනිල්ලා!'' කියලා.
මාර වැඩක් තමයි!
ඊට පස්සෙ 1950 - 1952 කාලය තුළ, ඔබට ඉන්දුනීසියාවේ තානාපති හැටියට වැඩකරන්න සිද්ධ වුණා. 1952 දී නං අගලවත්ත ආසනයෙන් තරඟ කරලා, ජයග්‍රහණය ලැබුවා, එතකොටත් ඔබ ඉල්ලුවෙ අධ්‍යාපන ඇමති ධුරය. ඒත්, ඔබට ඒ බලය ආයෙ කවදාවත් ලැබුණෙ නැහැ. ඔබට ලැබුණෙ, නිවාස හා ස්වදේශ කටයුතු ඇමති ධුරය.
ඉතිං ඔබ මොනවා කරන්නද?
1956 දි විශ්‍රාම ගන්න ඔබ, 1969 සැප්තැම්බර් 23, රටෙන්ම නෙවෙයි මුළු ලෝකයෙන්ම සදහටම සමු ගත්තා.  ඔබ යන්න ගියත්, ඔබේ ඒ ශක්තිමත් ආරම්භයත් එක්ක, අපි රටක් හැටියට සෑහෙන ජයග්‍රහණ ලැබුවා. රට පුරා විහිදුණු රාජ්‍ය මධ්‍යම මහා විද්‍යාල ජාලයක් සහ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියක්. ඒ හරහා, එදා මෙදා තුර මිය ගිය සහ තවමත් ජීවත් වන උගතුන් සහ බුද්ධිමතුන් (?) විශාල පිරිසක්.
ඔව්! මේ අපේ රට!
ඒ අතර...
''සිරි ලක දේ සිරි සැප දේ'' කිව්වාට, ඒ වනවිටත් ලෝක බලවතුන්, ලෝකය පුරා, ජාතික රාජ්‍ය පෙරළාගෙන, තම වෙළෙඳ දැළ එළමින් හිටිය වග අපේ අය හරියටම තේරුම් ගත්තෙ නැහැ, ලෝකයෙ බොහෝ රටවල අය වගෙම.
ඒ අනුව දන්නෙම නැතුව 1977 උදා වුණා!
'ගෝලීයකරණය' හෙවත් විචෘත ආර්ථික ක්‍රමය වෙනුවෙන් අපේ රටේ දොර කවුළුත් ඉබේම වගෙ විවෘත වුණා. එය කොන්දේසි විරහිත යටත්වීමක්.
''අතට අහුවෙන ඕන දෙයක් විකුණාපල්ලා!'' ඒක තමයි රට හදන විදිහ!
උන් අපට කිව්වා, අපේ එවුනුත් ඒකම කරනවා! මේ දැනුත්.
ඔබ එදා නිර්මාණය කරන ''නිදහස් අධ්‍යාපනය'' ත් දැන් කෑලි කෑලි වලට කපලා මුං විකුණන්න පටන් අරන්, දැන් ඒ 'නිදහස' පණ අදිනවා. ඊට පණ දෙන්න ඔබ වගෙ උගත්තු - බුද්ධිමත්තු දැන් නං නැහැ. හැම එකාම විකිණිලා. උන් තමයි මේ මහා අපරාධයට නායකත්වය දෙන්නෙ.
මේ ඓතිහාසික - දේශපාලන විකෘතියක්!
1971, 1988 - 89 තුළ, මේ දේශපාලන විකෘතිය නිසා තරුණ ජීවිත දස දහස් ගණන් විනාශ වුණා, දැනුත් ඒ මිනි පිච්චෙන පුළුටු ගඳ දැනෙනවා දැනෙනවා වගෙ. නැවත නැවතත් ඒ ඓතිහාසික වැරැද්දම සිද්ධවෙනවා, අනිවාර්යයෙන්ම.
නිදහස් අධ්‍යාපනය සහ ඊටම සම්බන්ධ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන්, මේ දැනුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයො දස දහස් ගණනින් වීදි බැහැලා. මේ පාලකයන් ට ගණනක්වත් නැහැ.
හිතේ වේගයට මෙහෙම ලියාගෙන ලියාගෙන ගියාට, ඔබට දැන් යමක් කරන්න බැහැ කියලා දන්නවා.
ඒත් මේ අවනඩුව කාට කියන්න ද?
ඒත් එක දෙයක් කියන්නං!
එදා ඔබ, මතුගම ආසනය පැරදුණා වගෙ, අපට රටම පරද්ද ගන්න බැහැ!කොහොම හරි දිනන්න ඕනෙ!
ඒත් ඒ කොහොම ද?
CHAPA   


No comments:

Post a Comment