Friday, March 17, 2017

  අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න, ඒත්...



අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න, ඒත්...
ඔන්න ඔබ හිතනවා, ඇයි ඒත් කියල නැවැත්තුවෙ කියලා නේද?
මෙහෙමනෙ, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න කියනකොටම වෙන තේරුමකුත් එනවා. ඒ කියන්නෙ ''අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජනය'' ගන්නවා වගෙ එකක්. අර 'අයුතු' කෑල්ල නැති වුණත් ඒ අදහසම තියෙනවා වගෙ එකක්. ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද?
'අවස්ථාවාදී' කියන ගතියත් ඉතිං මෙතැනට අදාළයි. ඔය ජීවිතය ජයගත්ත හැමෝම වගෙ තම තමන්ට ලැබෙන අවස්ථා උපරිම වශයෙන් පාවිච්චි කරපු අය. ඒත් ඒ කොහොමද කියන එක නං හරිම වැදගත්.
ඇත්තටම මෙතැනදි වෙන්නෙ, යුතු - අයුතු දෙපැත්තම වෙන් කරගන්න අමාරු එක.
ඔබ කල්පනා කරලා තියෙනවාද?
අවස්ථාවක් කියන්නෙම සාධක ගණනාවක් එකතුවෙලා හැදෙන එක විදිහක මොහොතක්!
ජීවිතයෙ උදාවෙන සමහර අවස්ථා තමන්ට යහපත් වෙනවා වගෙම වෙන කෙනෙකුට අයහපත් වෙන්නත් ඉඩ තියෙනවා. කෙනෙකුගෙ ජීවිතය සහ අනෙකෙකුගෙ මරණය තරමටම මේ අවස්ථා සංකීර්ණ වෙන්න පුළුවන්. ඇත්තටම ඔය හුඟාක් මිනි මැරුම් ඇතුළු අපරාධ වලටත් ඔන්න ඔය 'අවස්ථාව' ගන්න යන එක බලපානවා. මේ අවස්ථාවෙ මම එයාව මැරුවෙ නැත්තං එයා ඊළඟ අවස්ථාවෙදි මාව මරයි! කියලා කෙනෙක් ඉක්මන් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා.
මේ උදේ පාන්දර මිනිස්සු මරන ඒවා ගැන මොකටද අපි කතා කරන්නෙ, නේද?
ම්ම්ම්...මෙහෙම බලමු!
ඔබට එන අවස්ථා හොඳට කල්පනා කරලා, ඒත් පමා නොවී ගන්න. අදාළ අවස්ථාව ගත්තට පස්සෙ ලැබෙන්නෙ අයහපත් දෙයක් නං ඒ අවස්ථාව කොච්චර හොඳ වුණත් ගන්න එපා. අපට වරදින්න මහා ලොකු වෙලාවක් යන්නෙ නැහැ. එහෙම නේද?
හොඳ පරිස්සමට අවස්ථා තෝරාගෙනම ගන්න. මොකද, සමහර අවස්ථා යන්න ගියහම ආයෙ කවදාවත් එන්නෙ නැහැ.
වැදගත්ම දේ මේකයි. අර කලින් කියපු විදිහට, කෙනෙකුට වැරැද්දක් වෙන අවස්ථා නං කොහොමත්ම ගන්න එපා.
''අයුතු ප්‍රයෝජනය'' කියන තැනට වැටෙන්නත් එපා. සාමාන්‍යයෙන් හුඟාක් අය බලාගෙන ඉන්නෙම අනිත් අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්නම තමයි. ඒක තිත්ත ඇත්තක්!
එහෙම නං අපි අද දවසටත් උනන්දුවෙන් සහ සතුටින් මුහුණ දෙමු. එළඹෙන අවස්ථා ගැනත් අවධානයෙන් ඉම්මු. එතකොට අවස්ථා මඟහැරෙන එකකුත් නැහැ.
හොඳයි! ඔබට සුභ පැතුම්!
CHAPA
2017 මාර්තු 18


No comments:

Post a Comment