Friday, March 17, 2017

    විශේෂඥ වෛද්‍ය 
    අනුරුද්ධ පාදෙණියට ලියමි!


හිතවත් Dr. පාදෙණිය!
ඔබ මේ මොහොතෙ, ලාංකේය සමාජ පැවැත්මට අතිශය තීරණාත්මකයි!
ඒ, ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් වීම නිසාම නෙවෙයි. ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයෙ, සභාපතිවරයා වීම නිසා.
මේ වෙලාවෙ, ඔබත් ඍජුවම සම්බන්ධ ''SAITM ජාවාරම පිළිබඳ ප්‍රශ්නය'' අප ඉදිරියේ තවමත් නොවිසඳී පවතිනවා. ඒ ප්‍රශ්නය, ජනාධිපතිවරයා පාමුළ තබා, විසඳුමක් ලැබෙයි කියලා බලාගෙන ඉන්න සමහර අය විශ්වාස කරන්නෙ, ඔබ.
නිදහස් අධ්‍යාපන අවස්ථාවෙන්, ගමේ ඉස්කෝලෙදි ඉගෙනගෙන, උපරිම දක්ෂතා පෙන්නලා, දවසක, විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත්වුණු අනුරුද්ධ පාදෙණිය ව.
ඔබ දැන් සැලකියයුතු කාලයක්, ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගෙ සංගමයටත් නායකත්වය දෙනවා. ඔව්! ඔබ නායකත්වය පිළිබඳ සම්මානලාභී වෘත්තිකයෙක්. ඒ අතර ඔබ, පැවති රාජපක්‍ෂ පාලනය සමඟත්, දැන් මෛත්‍රී - රනිල් පාලනය සමඟත් හොඳ සමීප සම්බන්ධයක් පවත්වාගෙන තියෙනවා. එදා ජනාධිපති මහින්දට වගේම මෙදා ජනාධිපති මෛත්‍රීටත් ඔබ සමීපයි.
මට, ඔබ මුලින්ම පුද්ගලිකව හම්බ වෙන්නෙ, සති කීපයකට කලින් දෙරණ නාලිකාවෙදි. ඒ, Insight වැඩසටහන සඳහා ආපු වෙලාවෙ. ඊට පස්සෙ සතියක, ඒ කියන්නෙ, හරියටම පෙබරවාරි 28 දා ( 2017) මහනුවර පැවති SAITM විරෝධී රැළියට ආමන්ත්‍රණය කරන්නත් අපි දෙන්නා ගියෙ කෝච්චියෙ, එකට. ආපහු ආවෙ, වෛද්‍ය රමේෂ් පතිරණගෙ වාහනයෙ. එන ගමන් ඔබේ මහා ගෙදරටත් ගියා. ඔබට මතකනෙ.
අපි ඒ ගමන පුරාවට විවිධ මාතෘකා ඔස්සෙ අදහස් හුවමාරු කරගත්තා, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ගැනත් සෑහෙන්න දේවල් සාකච්ඡා කෙරුවා.
මම මේ දේවල් මෙහෙම ලියන්නෙ ඇයි?
මේ, රටේ පැවැත්ම භයානක අනතුරකට මුහුණ දෙන මොහොතක්!
එක පැත්තකින් ලංකාව ව්‍යුහාත්මකව වෙනස් කරමින් දුර්වල රාජ්‍යයක් බවට පත්කරන්න සැලසුම් ක්‍රියාත්මක කරමින් ඉන්න එක්සත් ජාතීන් සහ ඔවුන්ගෙ ඒජන්තවරු විදිහට වැඩ කරන දෙමළ ඩයස්පෝරාව සහ NGOs ජාලය. අනෙක් පැත්තෙන්, ලංකාව ණය උගුලක හිර කොට, ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට බලකරන, ආසියානු සංවර්ධන බැංකුව සහ විශේෂයෙන්ම ලෝක බැංකුව - ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. මේ සියළු ව්‍යපෘති සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කරන යුරෝපා සංගමය. ඒ සියල්ලට සමගාමීව, රසායනික, බීජ, ඖෂධ සහ තවත් වෙළෙඳ මාෆියා භාරව සිටින බහු ජාතික සමාගම් ජාලය.
මේ පසුබිම තුළ, රටේ රාජ්‍ය ව්‍යවසායන් සියල්ල විකුණා දැමෙනවා, මුල්‍ය සහ විනිමය නීති ලිහිල් කෙරෙනවා. කොටස් වෙළෙඳපොළ ඇතුළු දේශසීමාවන් බිඳගෙන හැසිරෙන මුල්‍ය ව්‍යපෘති තව තවත් ව්‍යාප්ත කෙරෙනවා. රටට අනන්‍ය ආර්ථිකය බිඳ දැමෙනවා, විදේශිකයන්ට අවැසි පරිදි තම තමන්ගෙ වෙළෙඳ අරමුණු ඉටුකරගන්න පොළොව සකස් කෙරෙනවා.
ඒ සඳහා වැඩකරන ජනතා බදු මුදලින්, ඊනියා ජනතා නියෝජිතයන් 225 ක් සහ ජනාධිපතිවරයෙක් සැප දී නඩත්තු කෙරෙනවා. ඔවුන්ගෙ සහයට නිලධාරීන් - විවිධ වෘත්තිකයන් සහ ඊනියා බුද්ධිමතුන් රොත්තකුත් නඩත්තු කෙරෙනවා.
මේ, 1977 න් ආරම්භවන ගෝලීයකරණ මහා කොල්ලයෙ අවසන් කාලපරිච්ඡේදය.
1940 දශකයෙන් පස්සෙ ලංකාව, සුභ සාධන - ජනතාවාදී රාජ්‍ය ආකෘතියක් තුළ අත්පත් කරගත් ජනතාවාදී ජයග්‍රහණ සියල්ල සහ විශේෂයෙන්ම රටේ හදවත බඳු වූ,  නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා අවස්ථා සියල්ල පියවරෙන් පියවර අහෝසි කරන්න සැලසුම් ක්‍රියාත්මක වෙන්නෙත් ඒ අනුව.
SAITM ජාවාරම නීතිගත කරගන්න මේ 'හැමෝම' දඟලන්නෙත්, ඊට පුර්ණ රාජ්‍ය ආරක්ෂාව ලැබෙන්නෙත්  අන්න ඒ ඓතිහාසික දේශපාලන සන්දර්භය තුළ තමයි.
ඔබට මම දැන් කෙළින්ම කියන්නං!
ජනාධිපති මෛත්‍රී ඉන්නෙත් SAITM පැත්තෙ.  මේ ජාවාරම පටන් ගන්න කල්ලියෙ එදා සහ අදත් ඔහු ප්‍රබල සාමාජිකයෙක්.
ඔබ ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය වරුන්ගෙ සංගමය, ඔහුගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
මහින්ද, මෛත්‍රී, SB, කිරිඇල්ල, රාජිත සහ තව සෑහෙන නඩයක් ඔය SAITM වටේ ඉන්නවා. අර ඊනියා ආර්ථික කොල්ල කරුවන්ට නෙවිල් ප්‍රනාන්දුලා - සමීර සේනාරත්න ලා තව තවත් ඕනෙ.
මේක සෙල්ලමක් නෙවෙයි. SAITM එකට දරුවො දාපු අය වගේම මිලියන ගණනින් අල්ලස් ගත්ත මහා කල්ලියක් එක්ක කොහොමද අපි ගනු දෙනු කරන්න ඕන?
බරපතළ විදිහට හිතන්න! තීරණය කරන්න!
ඔබට රජයේ සහ තවත් වෛද්‍යවරු දහස් ගණනකගෙ ශක්තිය ලැබෙනවා. මම වගෙ තවත් දේශපාලන ක්‍රියාකාරිකයොත් අලුතෙන් හැදෙන්න පටන් ගනියි. අපි ඉස්සරහටම යමු! කඩාගෙන යමු!
ඒත්, මට ඔබෙන් අහන්න වැදගත් එක ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍ය අධ්‍යාපනයට අදාළ 'අවම ප්‍රමිතිය' ප්‍රකාශයට පත්කිරීම ගැන ඔබ හුඟාක් උනන්දු වෙනවා, ඒ ඇයි? ඒ හරහා SAITM නීත්‍යානුකුල කරන්න ඔබ උතසහ කරනවා කියලා කෙනෙක් චෝදනා කෙරුවොත්?
බලාගෙන! බොරු වලවල් හැමතැනම...
ඇත්තටම මොකද්ද මේ වෙමින් තියෙන්නෙ?
SAITM සම්බන්ධයෙන් කරන්න තියෙන්නෙ මෙච්චරයි;
( උපුටා දැක්වීම)
එහෙම නං කරන්න තියෙන හදිසි සහ විධිමත්ම දේ තමයි, SAITM විරෝධය ඉලක්ක ගතකරන එක.
ඔව්! අපට මෙන්න මෙහෙම ඒ යෝජනාව ගොනු කරන්න පුළුවං;
1. SAITM, ජාවාරමක් නිසා එහි ක්‍රියාන්විතය වහාම අත් හිටුවිය යුතුයි!
2. SAITM ජාවාරමට එරෙහිව නීතිය ක්‍රයාත්මක කළ යුතුයි! සහ අදාළ ඇමතිවරු ප්‍රමුඛ එකී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට එදිරිව නීතිමය පියවර ගත යුතුයි!
3. SAITM ජාවාරම තුළ අගතියට පත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් අවශ්‍ය සහ සුදුසු පියවර ගැනීමට, පහහ සඳහන් පාර්ශයන් සම්බන්ධ කෙරෙන කමිටුවක් බලගැන්විය යුතුයි;
A ) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
B ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව
C ) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
D ) සෞඛ්‍ය අමාත්‍යාංශය
E ) ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
F ) විශ්ව විද්‍යාල උපකුලපතිවරු සහ
G ) තවත් අවශ්‍ය වගකිව යුතු පාර්ශව
මෙතැනින් එහාට, නිදහස් අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය සේවාව සහ තවත් ජනතාවාදී - සුභසාධන රාජ්‍ය අවශ්‍යතා පිළිබඳ පුළුල් සංවාදය ගොඩනැගෙන්න ඕන!
ඒ, මේ අරගලයෙ ඊළඟ සහ ඉදිරි තත්වය!
CHAPA in Kandy, Feb 28, 2017

( උපුටා දැක්වීම අවසන් ) 
Dr. පාදෙණිය!
අපි ඔබ දිහා කල්පනාවෙන් බලාගෙන ඉන්නවා!
ඒ වගේම ඉතිහාසය මේ සියල්ල වග විභාග කරන අනිවාර්ය මොහොතක් උදාවෙනවා, එදාට මේ වැරදිකරුවන් සහ අපරාධකරුවන් ජීවතුන් අතර නැති වේවි, හැබැයි උන්ගෙ ළමයි, ළමයින්ගෙ ළමයි නියත වශයෙන්ම දඬුවම් ලබාවි! 
ඉතිං මේ අවස්ථාව ගන්න! අපි ඔබ සමඟයි!
( උපුටා දැක්වීම)
 "...අපට ඉතා ආදරණීය විදිහට සංග්‍රහකරන අතරෙ, පාදෙණියගෙ අම්මා මට හෙමින් මෙහෙම කිව්වා, '' අනේ ඉතිං පුතේ..මම නිතරම ඉතිපිසෝ භගවා...ගාථාව කියා කියා ඉන්නෙ...අපේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා..එයා tv එකේ කියන ඒවා මම බලනවා...''
තමන් කවදාවත් දැකපු නැති පුතෙකුට, තමන්ගෙ පුතා ගැන ගමක අම්මා කෙනෙක් කියන අහිංසක විදිහ!
''බය වෙන්න එපා, හොඳ දේවල්නෙ කියන්නෙ...'' මමත් ඇයට හෙමින් කිව්වා.
ලංකාවෙ මිනිස්සු!''

- ලංකාවෙ මිනිස්සු, මාර්තු 1, 2017- 
( උපුටා දැක්වීම අවසන් )
CHAPA
2017 මාර්තු  17

No comments:

Post a Comment