Monday, March 20, 2017

  නාස්තිය එපා!


නාස්තිය එපා! කියනකොට, ඔබ අහයි, ඉතිං මම මොනවද නාස්ති කරන්නෙ? කියලා.
එතකොට අහන්න වෙන්නෙ, අපි දැන හෝ නොදැන කොච්චර දේවල් නස්තිකරනවා ද? කියලා. බඩු භාණ්ඩ විතරක් නෙවෙයි, කෑම බීමත් අපි අතින් නාස්ති වෙනවා. එක එක්කෙනාගෙ නාස්තියෙ ප්‍රමාණය නං හැබැයි වෙනස්.
ගෙදර දොර බඩු මුට්ටු පරිස්සම් කරන්න. කැඩුණොත් එහෙම අලුත්වැඩියා කරගන්න උත්සහ කරන්න. ඒවා නඩත්තු කිරීමත් ඉතා වැදගත්. පාවිච්චි නොකරන දේවල් වෙන අවශ්‍ය කෙනෙකුට දෙන්න, අවශ්‍යම දේවල් විතරක් තියා ගන්න. එතකොට නාස්තිය කළමනාකරණය වෙනවා.
ඔය ගෙදර දොර ජනෙල් අරිනකොට, වහනකොට එහෙමත් පරිස්සමට අරින්න, වහන්න. එහෙම නැත්තං ඒවා හොඳ මට්ටමෙන් දිගට පවතින්නෙ නැහැ. ඒකත් නාස්තියක්නෙ.
වාහන භාවිතයත් එහෙම තමයි. පරිස්සම සහ නඩත්තුව. එතකොට වාහන නාස්ති වෙන්නෙ නැහැ.
සාමාන්‍යයෙන් පොදුවෙ හිතෙන්නෙ, තියෙන අය තමයි දේවල් නාස්ති කරන්නෙ කියලා. ඒක එහෙම ම නෙවෙයි. තියෙන නිසා නාස්ති කරන අයත් ඉන්නවා. නාස්තිය නිසා, නැතිකම වැඩිකරගන්න කට්ටියකුත් ඉන්නවා.
බලන්නකො ගෙවල්වල කෑම නාස්තිවෙන විදිහ. හුඟාක් තැන් වල ආහාර කළමනාකරණය හොඳ නැහැ. අවශ්‍ය ප්‍රමාණය විතරක් රසට උයා ගන්න එක, අවශ්‍ය ප්‍රමාණය විතරක් කන්න බෙදා ගන්න එක වගෙ සරල පුරුදු ඇතිකරගන්න එක එච්චර අමාරු නැහැ. එතකොට වීසිකරන ඉඳුල් ප්‍රමාණයත් බලාගෙන ඉද්දි අඩුවෙනවා.
එතකොට කාලය නාස්තිකරන එක?
අපිට ඇත්තටම කාලය ගැන කිසිම අදහසක් නැහැ වගෙ. මොකක් හරි වැඩක් කරගන්න, කාර්යාලයකට ගියහම තමයි තේරෙන්නෙ, කාලය කොච්චර නොසලකා හැරෙනවාද  කියලා. රජයෙ, පුද්ගලික හෝ අර්ධ රාජ්‍ය කියල නැහැ, හැම තැනම අඩු වැඩි වශයෙන් කාල නාස්තිය තියෙනවා.
ඔබේ දවස ගෙවෙන හැටිත් නිකමට කල්පනා කරලා බලන්නකො.
අපි මතක තියා ගන්න ඕන දේ තමයි, යමක් කරනකොට ඒ දේ හරියට කරන්න අවශ්‍ය දැනුම නැත්තං කාලය සහ තවත් බොහෝ දෑ නාස්ති වෙනවා.
ඇයි අපි වචන නාස්තිකරන විදිහ? නේද? කොච්චර විකාර කතාවලට අපේ කාලය සහ ශ්‍රමය වැය වෙනවාද? මේ fb ඇතුළු සමාජ මාධ්‍ය ජාලා දිහා බලනකොට ඒ නාස්තිය හොඳටම පේනවා. සමහරු කිසිම තේරුමක් නැතුව fb වගෙ තැන්වල කොටුවෙලා පිස්සු නටනවා. අයාලෙ යනවා. එතකොට එක එක computer games? ඒවා නිකං වසංගතයක් වගෙ. අපරාදෙ! ළමා මනස, තාරුණ්‍ය සහ සමහර වැඩිහිටියො පවා පිස්සු වැටිලා වගෙ. ඒ වගෙ අයගෙ මිනිස් සම්බන්ධතා පවා යම් විකෘතියකට ලක් වෙමින් තියෙනවා. ඒ නාස්තිය නං ආපිට හදාගන්න බැරි තරම්.
මත් ද්‍රව්‍ය, මත් පැන්, දුම් වැටි භාවිතය සහ තවත් අයහපත් පුරුදු නිසා නං, සමහරුන්ගෙ මුළු ජීවිතයම නාස්ති වෙනවා. ඒක බරපතළ සමාජ ව්‍යසනයක්.
පොදු දේපොළ නාස්තිය ගැන ඉතිං වෙනම සාකච්ඡාවක් තියෙනවා.
මොන වර්ගයෙ නාස්තියක් වුණත්, එය යම් පිරිහීමකට හේතු වෙනවා. ඒ නිසා අපි නාස්තිය අවම කරගන්න උත්සහ කරමු.
වැදගත්ම දේ මේකයි! කෙනෙක් නාස්තිකරනකොට එය වෙන කෙනෙකුට දරන්න වෙනවා.
එහෙම නං, මේ අලුත් දවසෙ අපි එකඟතාවකට එමු!
අපි නාස්ති නොකරමු! සිදුවන නාස්තිය අවම කරගනිමු!
එහෙම හොඳයි නේද?
ඔබට සුභ දවසක් වේවා!
CHAPA
2017 මාර්තු 21

No comments:

Post a Comment