Friday, February 10, 2017

රවී! එන්න, ලක්හඬ ට යමු!

කාලය 1998 - 2000;
ස්ථානය - කොළඹ 7, නිදහස් චතුරශ්‍රය ආසන්නයෙ, ගුවන් විදුලි භුමියෙ පසු පස කොටස, ලක්හඬ ට වෙන් වූ මාධ්‍ය අඩවිය.
වේගයෙන් එහාට මෙහාට යන සහ ඉක්මනට වැඩකරන කඩිසර තරුණයෙක්. ගුවන් විදුලි තාක්ෂණ දැනුම නිර්මාණාත්මකව යොදාගන්න උත්සහ කරන බලාපොරොත්තු සහගත ශිල්පියෙක්. ඒත් එක්කම අලුත් දෙයක් කරන්න කල්පනාකරන පුද්ගලයෙක්.
රවී!
රවී කුමුදේශ් කියන්නෙ, මේ වෙනකොට පරිපූරක වෛද්‍ය රසායනාගාර සංගමයෙ සභාපතිවරයා. ඔහු, රජයේ වෛද්‍ය වරුන්ගෙ සංගමයට එරෙහිව මාධ්‍ය ඔස්සේ යම් යම් මැදිහත්වීම් කරමින් ඉන්නවා සමහරවිට ඔබ මේ දවස්වල දකිනවාත් ඇති. මීට පෙරත් ඔහුගෙ වෘත්තීය සංගම් ක්‍රියාකාරකම් තැන තැන දකින්න තිබුණා. ජනවාරි 8 දේශපාලන ව්‍යපෘතියෙත් ඔහු ක්‍රියාකාරිකයෙක්. ඔහු, අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ සමීපව වැඩකරන සහ යහපාලනය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. ඔහු තමන්ගෙ වෘත්තියට අදාළ ව්‍යාපාරික කටයුතුවලත් යෙදිලා ඉන්නවා.
මේ සටහන ලියැවෙන්නෙ ඔය පසුබිම නිසා නං නෙවෙයි.
අපි එකට, ලක්හඬ ගුවන් විදුලියට වැඩකරපු ඒ කෙටි කාලය තුළ, වෙනස් යමක් කරන්න යම් උත්සහයක් ගත්තා. මම, සන්නිවේදකයෙක් විදිහට, ඔහු තාක්ෂණික ශිල්පියෙක් හැටියට එකට කරන නිර්මාණවල යම් අලුත් ගතියක් තියෙන බව අපි දෙන්නටම තේරුණා. මම මැදිරිය තුළ වැඩසටහන් ඉදිරිපත්කරනකොට, ලොකු වීදුරු ආවරණයෙන් එහා පැත්තෙ, තාක්ෂණික මෙහෙයුම් කොටසෙ, රවී ඉන්නවා දකින්න කොහොමත් කැමතියි. මම ඉදිරිපත්කරන අන්තර්ගතය ක්‍ෂණිකව වටහා ගෙන, අවශ්‍ය වෙලාවට, ඊට ගැළපෙන විවිධ නාද රටා මවන්න ඔහු දක්ෂයි. කිසිම පෙර සුදානමක් නැතුව කරන එහෙම වැඩ හරිම නැවුම්. ඔය අත්දැකීම් ලැබුණෙ ඉතිං කෙටිම කෙටි කාලයයි.
ඊට පස්සෙ අපි වෙන් වෙලා එක එක තැන්වල.
රවී, ඔය රසායනාගාර පාඨමාලාව කරන්නෙත් ලක්හඬ ට වැඩ කරන ගමන්, ඒකත් එක විදිහක දක්ෂතාවක්, විශේෂයෙන්ම කිසිම සම්බන්ධයක් නැති ක්ෂේත්‍ර දෙකක් නිසා.
ඇත්තටම මම මේ සටහන ලියන්න පෙළඹෙන්නෙ ඇයි?
රවී කුමුදේශ් වගෙ, පියවරෙන් පියවර ජීවිතය සකස්කර ගන්න දක්ෂ වෘත්තිකයන් සමාජයෙ එක තැනකට එනකොට ඔවුන්ගෙන් රටට ලැබෙන්නෙ මොනවද? ඒ වගෙ අය දේශපාලනය වටහා ගන්නෙ කොහොමද? ඔවුන්ගෙන් රටට ආලෝකයක් ලැබෙනවා ද? එහෙම නැත්තං රට අඳුරු දිශාවකට තල්ලු කරන්න, දැන හෝ නොදැන දායක වෙනවාද?
ප්‍රශ්න වැළක්...
නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය අවස්ථා ගැන ඔහුගෙ අදහස් සහ මතවාදය මම පිළිගන්නෙ නැහැ, SAITM වෙනුවෙන් ඔහු හිටගන්න විදිහත් බරපතළ ප්‍රශ්නයක්, ඒත් මේ සටහන, ඒ සංවාදය වෙනුවෙන් නෙවෙයි.
මොකක් හරි වැරද්දක් මෙතැන තියෙනවා! හැබැයි ඉතිං මේ මට දැනෙන විදිහ වෙන්නත් පුළුවං, ඒ කියන්නෙ පුද්ගලික හැඟීමක්...
රවී, මේ ඔක්කොම පැත්තකට දාලා එක්කෝ අයෙත් ලක්හඬ ගිහිං, 'ගිණි වැට අද්දර' හරි 'ගං ඉවුර' හරි කරමු ද? රාත්‍රී ගීත වැඩ සටහනක්! එක්කො උදේ පාන්දර beam එක?
ඉස්සර වගේම වෙලාවටත් කලින් එන්නං, ඔබත් එනවනෙ!
CHAPA
Feb 10, 2017


No comments:

Post a Comment