Thursday, February 9, 2017

   හඳ එළියෙ...

අද, තවත් එක පෝයක්. රෑට ලස්සනට පුරා හඳ පායාවි, ඊයෙටත් වැඩිය.
අඳුරු අහස එළිය කරන නවම් සඳ!
මේ හඳ එළියෙන් අපට ලෝකය දිහා බලන්න පුළුවං  නං! අඩුම තරමෙ අදට විතරක් වත්. ම්...දේවල් ඇති වෙනවා - නැති වෙනවා. විශ්වයේ එකම පැවැත්ම වෙනස්වීම. අනිත්‍ය! එතකොට මේ අපි දකින කිසිම දෙයක් ස්ථිර නැහැ, එක විදිහට පවතින්නෙත් නැහැ. කොච්චර සරල ඇත්තක් ද? බුදු දහම පදනම් වෙන්නෙ මෙන්න මේ විශ්ව යථාර්ථය මත. මේ වටහා ගැනීම තුළ අප බැඳී වෙළී තියෙන හැම දෙයක්ම, හැම තත්වයක්ම සහ හැම මොහොතක්ම තේරුම් ගන්න පුළුවං වෙනවා.
කෙනෙකුට එතකොට හිතෙන්න පුළුවං, මේ හැම දෙයක්ම වැඩක් නැති දේවල්! ජීවත් වෙන එකත් තේරුමක් නැහැ! කියලා. නැහැ! බුදු දහම එහෙම ශුන්‍ය තැනකට මිනිස් හිත තල්ලු කරන්නෙ නැහැ. සියල්ල වෙනස් වන අවකාශයක, මම කියලා කෙනෙකුත් පවතින්නෙ නැත්තං, මට දුක් වෙන්න හේතුවක් නැහැනෙ. මම මොකටද දේවල් බදාගෙන ඉන්නෙ, මගේ පැවැත්ම වෙනුවෙන් ඇයි මම අනුන්ට කරදර කරන්නෙ? මුළු සත්ව ලෝකයම එකට බැඳී නොපතිමින් පවතින බව වටහා ගන්නකොටම, ජීවිතය හරිම සරල වෙනවා, සැහැල්ලු වෙනවා. ඔන්න එතකොටම, ආදරය, මෛත්‍රීය, කරුණාව...මෝදු වෙන්න පටන් ගන්නවා, මගේ වීම නිසා නෙවෙයි, මුළු ජෛව ගෝලය ගැනම පොදු හැඟීම් ඇති වන නිසා.
ඉන්න ගමන් හෙමින් කල්පනා කරන්න. පුළුවං නං රෑ අහස යට, හඳ එළියෙන් ලෝකය දකින්න උත්සහ කරන්න. ලෝකය දැනෙන්න ගන්නකොට, ඔබට ඔබව දැනෙන්න ගන්නවා, ඔබට ඔබව දැනෙන්න ගන්නකොට ලෝකය දැනෙන්න ගන්නවා. හරිම චමත්කාරජනකයි!
එන්න! අපි හඳ එළියෙ ජීවිතය මුදා හරිමු!
CHAPA

No comments:

Post a Comment