Saturday, February 11, 2017

   නිදාගන්න...

ම්...කොහොමද මේ අලුත් දවස?
මොකද නිකං මැළවිලා වගෙ, හරි! එකත් එකටම ඊයෙ මහා රෑ වෙනකං නිදි මරන්න ඇති, නේද?
මේ ඔබ ගැන නොවුණත් වෙන කෙනෙක් ගැන වෙන්න පුළුවං. ඔබේ වෙන උදෑසනක් ගැන වෙන්නත් පුළුවං.
අහන්න! මිනිස්සුන්ට හොඳ නින්දක් අවශ්‍යමයි.
පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් පැය 8 ක් වත් නිදා ගන්න පුළුවං නං හොඳයි. මේ නින්ද පටන් ගන්න ඕනෙ හුඟාක් රෑ වෙන්න කලින්. රෑ 10 ට වත් නින්ද ට යනවා නං තමයි වඩා හොඳ, නැගිටින්නෙ උදේ 6 ට. විවිධ පර්යේෂණවලින් හොයාගෙන තියෙන්නෙ, මැදියම් රැය එළැඹෙන කොට, කෙනෙක් ගැඹුරු නින්දට වැටිලා තියෙන්න ඕනෙ කියලා. එහෙම නිදා ගන්නකොට හුඟාක් රෝග තත්වයන්ගෙන් ශරීරය බේරෙනවා. නිරෝගී වෙනවා.
හැබැයි ඉතිං විවිධ රැකියා සහ තවත් එක එක ක්‍රියා කාරකම් නිසා එහෙම කරන්න බැරි වෙනවා තමයි. විදේශ ගත සහෘදයන් නං, සමහර විට, රැකියා කීපයක් කරන නිසා නිදා ගන්න වෙලාව අඩු වෙනවා ඇති. රාත්‍රී රාජකාරී කරන පිරිසකුත් අප අතර ඉන්නවා, ඒ අයට මෙහෙම කරන්න බැහැ. ඒත් අඩුම තරමෙ මේ ගැන දැන ගන්නකොට මොකක් හරි කළමණාකරණයක් කෙරෙයි නෙ. රෑට නින්ද නැතිවෙනවා නං අඩුම තරමෙ දහවලට වත් හොඳ ප්‍රමාණවත් කාලයක් නිදා ගන්න.
ඔබ, අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් නිදි මරනවා කියන එකඟතාවට එන්න. එතකොට හරි. fb විනෝදය සඳහා හෝ වැඩක් නැති tv වැඩසටහන් බලන්න නං නිදි නැති කරගන්න එපා, අපරාදෙ.
ඊළඟට, නිදා ගන්න විදිහත් වැදගත්. නින්දට කලින් ශරීරය හොඳට පිරිසිදු කරගෙන, පිරිසිදු සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන නින්දට යන එක හරිම වැදගත්. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පිරිසිදුව තියෙන්නත් ඕනෙ, මදුරු දැල් ගැනත් කල්පනා කරන්න, ඒවායේ දුහුවිලි බැඳෙනවා ඉක්මනට. නිදා ගන්නෙ බිම පැදුරක වුණත් මේ පිරිසිදුකම අත්‍යවශ්‍යයි.
හිතේ කරදර දැන් අමතක කරලා දාන්න, කොහොම හරි. ඒවා හෙට උදේ බලා ගනිමු! කියලා හිතන්න. නින්ද යන්නෙම නැති ගතියක් දීර්ඝ කාලීනව තියෙනවා නං, අනිවාර්යයෙන්ම ඔබට වෛද්‍ය සහය අවශ්‍යයි. බය වෙන්න දෙයක් නැහැ, ඒකට සරල ප්‍රතිකාර තියෙනවා.
නින්දට යනකොට කොහොමත් හිත සන්සුන්ව තියා ගන්න. පොතක් කියවන එක, සංගීතයට සවන් දෙන එක හෝ භාවනාවක යෙදෙන එක හොඳ නින්දකට ආරම්භයක් වේවි. නිදා ගන්න ඉරියව්වත් වැදගත්. ඒ ගැනත් පරිස්සම් වෙන්න.
දැන් නිදා ගන්න!
දැන් කිව්වට දැන් නෙවෙයි, අලුත් දවස පටන් ගන්න නිසා දැන් තියෙන්නෙ වැඩ පටන් ගන්න, රෑට හෝ නිදාගන්න තෝර ගන්න වෙලාවට සුදානම් වෙන එක ගැන මේ කියන්නෙ...
මතකනෙ! දැනගෙන, සුව නින්දක්, නිරෝගී ජීවිතයක්!
සුබ දවසක්!
CHAPA

No comments:

Post a Comment