Tuesday, February 7, 2017

  ඇගෙ සිනහව තහනම්...



'ඇගෙ සිනහව තහනම්...' කියන්නෙ ජනප්‍රිය ගීතයක මුල් පද තුන. චන්ද්‍ර  කුමාර කන්ඳනආරච්චි ගයන ඒ ගීතයට අනුව නං පෙම්වතාට පෙම්වතියගෙ ගෙදරින් විතරක් නෙවෙයි වෙන වෙන චරපුරුෂයන්ගෙනුත් කරදරයි.
කොහොමහරි! බලන්න, ආදරය සහ සිනහව හරි අපූරුවට ගැළපෙන හැටි.
එක වෙලාවක සිනහව, ආදරය නිරූපණය කරනවා, ඇත්ත!
මිත්‍රත්වය, සහෝදරත්වය, සුහදත්වය, පිළිගැනීම...ඔය හැම මානව සම්බන්ධතාවකටම සිනහව පැන නගිනවා. සතුට? ඔව්! සතුට පෙන්වන ප්‍රධානම ලකුණ සිනහව. හිනාවෙලා ඉන්නකොට නිරෝගී වෙනවා කියන එක කොහොමත් ඇත්ත.
සිනහව කියනකොට හඬ නගා සිනාසීම වගේම මද සිනහවත් අදාළයි.
හැබැයි, මිනිස්සු තරහට හිනාවෙනවා. වියරු සිනහව කියලා සිනහවකුත් තියෙනවා. ඇයි? කපටිකමට, අපහාසයට. උපහාසයට. කට්ටියක් හිනාවෙලා ඉන්නකොට තවත් කට්ටියක් ඉරිසියාවෙ පැළෙන්න හදන වෙලාවලුත් තියෙනවා. ඔබ කාන්තාවක් නං, මනුස්ස කමට හිනාවෙන්න ගිහිං අහක යන ලෙඩ දාගෙනත් ඇති. සමහර වෙලාවට පිරිමියෙක් වුණත් හිනාවෙනකොට අනිත් අය කරේ  නගින්න එන අවස්ථාත් නැතුව නෙවෙයි. හිනාව දුර්වලකමේ ලක්‍ෂණයක් කියලා හිතන අයත් ඉන්නවා, ඒ නිසාම serious කියලා පෙන්නන්න හිනා නොවී ඉන්නත් පුළුවං.
සමහරු හිනාවෙන්නෙ ඇස් දෙකෙන්. හිනාවෙන ඇස්!
පුංචි බබාලට විතරක් නෙවෙයි, ලොකු අයටත් නින්දෙන් හිනායනවා. ඒ අතර සමහර මානසික ආබාධ නිසාත් නිකං හිනායන අවස්ථා තියෙනවා. මම දන්නා කෙනෙක් හිටියා, හරිම හොඳයි, හිනාවෙන්නෙ පරිස්සමට, බලනකොට ඉස්සරහා දතක් කැඩිලා. මම බලහත්කාරයෙන් වගෙ දන්ත වෛද්‍යවරයෙක් ළඟට යැව්වා. දැන් හොඳට හිනා වෙනවා.
අද දවසේ පුහුණු කරන marketing හිනාව නං අන්තිමයි. වංචාකාරී ගතියක් තියෙනවා.
දුකට හිනාවෙනකොට නං දකින කෙනෙකුට 'පව්' කියලා හිතෙන්න පුළුවං. සමහර අයගෙ සිනහව, අහිංසක කමේ පණිවිඩයක් වගෙ. ජුගුප්සාජනක, ගුප්ත සහ වියළි සිනහ වර්ගත් අපි අපි අතරම  තියෙනවා.
ජයග්‍රහණයකදි හිනාවෙන එක ගැන තියෙන හොඳම කියමන තමයි, Who laughs last laughs best! ඒ කියන්නෙ අන්තිමට හිනාවෙන කෙනා තමයි හොඳටම හිනා වෙන්නෙ කියන එක. එහි යටි අරුත ඔබට ග්‍රහණය වෙනවනෙ. 
මාර වැඩේ කියන්නෙ සමහරුන්ට තියෙන්නෙම සිනහ මුසු මුහුණු. ඒ වගේ මුහුණක ඉතිං හැඟීම් තේරුම් ගන්න හරිම අමාරුයි. තවත් අය ඉන්නවා හිනා වුණත් පේන්නෙ නැහැ. 'මහ මුඩුමයෙක්!' කියලා එහෙම අය බැණුම් අහනවාත් එක්ක.
මේ අලුත් දවසෙ, අපි සිනහවට අලුත් අර්ථයක් දෙමු!
මනුස්සකම!
බලන්න, මනුස්සකම පෙන්වන සිනහව කොහොම සිනහවක්ද? කෝ!හිනාවෙන්න! හරි! ඔබේ සිනහව තුළ මනුස්සකම තියෙනවා...
නැත්තං ඒ ගැනත් හිතන්න!
CHAPA

No comments:

Post a Comment