Saturday, February 25, 2017

                                                 fb මඩ!

මඩ ගහනවා! කියනකොටම අපි හැමෝම දැන් දන්නවා ''මේ මොකද්ද?'' කියලා. හාස්‍ය වගෙ පෙනුණා ට මේ 'මඩ' යට තියෙන්නෙ අපහාසය සහ ද්වේශය වගෙ වෛරීසහගත හැඟීම්.

හාස්‍ය හෙවත් වඩා විද්‍යාත්මකව 'ප්‍රහසනය' කියන්නෙ, මානව ශිෂ්ටාචාරයෙ විශිෂ්ටම නිර්මාණකරණයක්. සියළු සත්වයන් අතරින්, චේතනාන්විතව සහ නිර්මාණාත්මකව හාස්‍ය හෙවත් ප්‍රහසනය ගොඩ නගන්න පුළුවං මින්ස්සුන්ට විතරයි, ඒ නිසාම එය දේශපාලනිකයි. ලෝකය පුරා ඉන්න ප්‍රකට ප්‍රහසන නළු නිළියන් සහ ඔවුන්ගෙ අධ්‍යක්ෂවරු මේ ප්‍රහසනය පිළිබඳ නිර්මාණකරණය හඳුණාගන්න විදිහත් වෙලාවක ප්‍රශ්න කරන්න සිද්ධවෙනවා.
කොහොම වුණත් මේ හාස්‍ය හෙවත් ප්‍රහසන රසය පිළිබඳ සංවාදයට පහළම සහ ප්‍රාථමිකම මට්ටමක තමයි, මේ ''මඩ රහ'' තියෙන්නෙ. fun එක සහ තවත් පුද්ගලික හේතු මත පදනම් වන මේ මඩ ගැහිල්ල, එක වෙලාවක පුද්ගලික මට්ටමෙන්, සංවිධාන්ත්මකව සහ ඊ ළඟට මේ දෙකේම සංකලනයක් විදිහට ව්‍යාප්ත වෙනවා.
මේ මඩ ගැහිල්ලෙ කූටප්‍රාප්තිය තමයි ''fb මඩ''.
ලංකාව ඇතුළු ලෝකයෙ බොහෝ රටවල, fb සමාජ ජාලය වටා එකතු වෙන්නෙ පොදු සමාජ තීරුවක්. අනෙක් සමහර සමාජ ජාලා තුළ ඒකරාශී වෙන්නෙ වෘත්තිකයන් සහ වෙනත් යම් සමාජ තත්වයක් නඩත්තු කරන්න උත්සහ කරන අය.
ලංකාව තුළ සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන්ම සිංහල පොදු ජනයා, ඒ අනුව දැන් මේ වෙනකොට fb තුළ වේගයෙන් ගොනු වෙමින් ඉන්නවා. එතකොටම මේ පොදුජන - පොදු ලක්ෂණ සියල්ලත් මේ හරහා ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා.
මේ තත්වය රටේ පොදු පැවැත්මට පවා බලපාන බව ඔප්පුවුණේ 2015 ජනවාරි 8 මැතිවරණ ව්‍යාපෘතියත් එක්ක. ඒ සඳහා දෙතුන් පැත්තම ඉතා සංවිධානාත්මකව fb මඩ ව්‍යපෘති දියත් කෙරුවා සහ fb පොදු ජනයා, දේශපාලනික අවිචාරවත්කම නිසාම ඒකට කැමති වුණා.
මේ මඩ ව්‍යාපෘති, ඒ නිසාම, ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවං.
එකක් පුද්ගලික, අනෙක පක්ෂ දේශපාලනික. වෙලාවෙන් වෙලාවට මේ තල දෙක අතිපිහිත වෙනවා.
මඩ ගැහිල්ලෙ ප්‍රධාන සහ එකම අරමුණ, ඉලක්කගත පුද්ගලයා, පුද්ගල කණ්ඩායම හෝ සංවිධානය, ජන අප්‍රසාදයට පත් කරන එක. පිළිගැනීම නැති කරන එක. සමාජමය වශයෙන් අවලංගු කරන එක.
ඒත් ඇත්තටම සිද්ධවෙන්නෙ මොකද්ද?
මේ සංවාදය ගොඩනගන්න, හොඳම සහ ආසන්නතම සිද්ධිය තමයි 2017 පෙබරවාරි 12, Ada Derana Insight හරහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, චතුර සේනාරත්න ඉදිරිපත් කරන අදහස් සමග, fb හරහා ඔහුට එරෙහිව පැතිරෙන සංවිධානාත්මක මඩ ව්‍යාපෘතිය.
ජනවාරි 8 මැතිවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ජවිපෙ ට විශාල වශයෙන් මුදල් දුන් බව සහ ඒ බව ඔප්පු කරන්න තමන්ට පුළුවං කියලා ඔහු කියනකොට, ජවිපෙ සාමාජිකයන් සහ හිතවාදීන් කුපිත වුණු බව, පහුගිය කාලය තුළ සහ මේ මොහොතෙත් fb හැසිරීම්, සීරුවට අධ්‍යනය කරන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවං. ඒ අනුව, චතුරට එරෙහිව ( සහ වැඩසටහන මෙහෙය වූ මට මෙන්ම, ඊට පසු චතුර සමග BBC සාකච්ඡාවක් මෙහෙය වූ වැඩසටහන් ඉදිරිපත් කරන්නාටත් යම් තරමකට, එරෙහිව ) සංවිධානාත්මකව මඩ ව්‍යාපෘතියක් fb ගත කරමින්, ''එක පිරිසක්'' උත්සහ කරන්නෙ, ''චතුර සේනාරත්න බොරු කාරයෙක්, ඒ නිසා ජවිපෙ ට සල්ලි දුන්නා කියලා මූ කියන්නෙත් බොරු!''කියලා ඔප්පු කරන්න.
මේ මඩ ගැහිල්ලට ජවිපෙ සාමාජිකයන් සහ හිතවාදීන් අනිවාර්යයෙන්ම කැමතියි. වෙනත් පුද්ගලික හේතු සහ fun එක නිසා කැමති කට්ටියකුත් ඉන්නවා.
ඒ හැරෙන්න කෙනෙකුට හිතෙන්න පුළුවං දේ තමයි, ඇයි චතුරට මඩ ගහ ගහ ඉන්නෙ, අභියෝග කරන්න පුළුවන්නෙ කියලා. එක්කෝ අධිකරණයට ගිහිං අපහාස වන්දියක් ඉල්ලනවා, එක්කෝ ඉදිරිපත් වෙලා චතුර කියන්නෙ බොරු කියලා ඔප්පුකරනවා. එහෙම එකිනෙකා අභිමුඛ කෙරෙන Insight වැඩසටහනක් ගැන මම fb හරහා යෝජනා කරපු නිසාම, පුද්ගලික messages හරහා ඔය ප්‍රශ්නය අහන ජවිපෙ හිතවාදීන් පිරිසකුත් ඉන්නවා. ඔවුන් ඉතා සංයමයකින් මේ ගැන හිතනවා.
ජවිපෙ ට කැමති කට්ටිය කොහොමත් ජවිපෙ ට කැමතියි. අනෙක් පක්ෂවලට ආදරය කරන අය වගේම. උදාහරණයක් විදිහට, ''මහින්ද මහත්තයා හොරකං කෙරුවත් කමක් නැහැ, අපි එතුමාට තමයි!'' කියන පාක්ෂිකයන් ඉන්නවා. ජවිපෙටත් ඉන්නවා, විශේෂයෙන්ම මරාගෙන මැරෙන්න වුණත් කැමති අය. එයාලව ආයෙ දිනාගන්න දෙයක් නැහැ. දිනාගන්න තියෙන්නෙ ජවිපෙ නොවන අය සහ විශේෂයෙන්ම විරුද්ධවාදීන්. මේ චතුරට එරෙහි මඩ ව්‍යාපාරයෙන් එහෙම දෙයක් වෙන්න පුළුවං හැකියාව අවමයි.
ඊට අමතරව, චතුරට කැමති කට්ටිය තව තවත් සංවිධානාත්මක වෙනවා, ඔහුට අනුකම්පා කරන්න පෙළඹෙන කට්ටියකුත් හැදෙන්න ගන්නවා.
බලන්න! මේ හරහා ඔහුට ලැබෙන ජනප්‍රියත්වය? මේ මොහොතේ, චතුරට කියලවත් කරගන්න බැරි පුදුමාකාර ප්‍රචාරයක් - ප්‍රසිද්ධියක් ඔහුට ලැබෙනවා.
බැරිවෙලාවත් නීතිය ඉදිරියෙ හෝ, මාධ්‍ය ඉදිරියෙ චතුරට අභියෝග කරලා තත්වය නිරවුල් කරන්න ජවිපෙ ට පුළුවං වුණා නං, ජවිපෙ ට, ජවිපෙ නොවන විශාල ජන බලයක් එකතු වෙනවා, චතුර ඉවර වෙලාම යනවා, හැබැයි, අදාළ තත්වය අනුව, ඒ කියන්නෙ, චතුර ඒ චෝදනාව ඔප්පු කෙරුවොත් ජවිපෙ ඉවර වෙනවා.
අපේ සංවාදය තියෙන්නෙ මෙන්න මෙතැන!
ඒ වෙනුවට, මේ මඩ වැඩ වලින් වෙන්නෙ, වැරදි වැහෙන එක. වැරදි කාරයො නිදහස් වෙන එක. වැරදිකරුවන් ට අනුකම්පාව ලැබෙන එක. වැරදි තව තවත් සිද්ධවෙන එක.
භයානකම දේ මේකයි! වැරදි වහ ගන්නත් මේ ක්‍රමය කෙනෙකුට උපක්‍රමයක් විදිහට යොදාගන්න පුළුවං. ඒ කියන්නෙ තමන්ම වියදම් කරලා, තමන්ම සැලසුම් කරලා, තමන්ටම මඩ ගහ ගන්නවා.
මරු දේශපාලනයක්!
ඇත්ත වශයෙන්ම, අප අවට සිදුවෙමින් පවතින්නේ කුමක් ද?
අපි මේ fb හරහා, ''මඩ නොවන'' දැවැන්ත සංවාදයක් ගොඩ නගන්න ඕනෙ. ඒ, වඩා යහපත් සමාජයක් වෙනුවෙන්.
එය සරල නැහැ. එය නියත වශයෙන්ම දැනුම මත පදනම් වන ඓතිහාසික අරගලයක්!
CHAPA

No comments:

Post a Comment