Monday, February 20, 2017

චතුර ගැනම අහන නිසා...

චතුර සේනාරත්න සමඟ කරපු Insight වැඩසටහනෙන් ( 2017පෙබරවාරි 12, Ada Derana ) පස්සෙ, මේ වෙනකොට බොහෝ දෙනෙක් කතා කර කර එකම දේ අහන නිසා, පොදු අදහසක් ගන්න මේ සටහන තියන්න හිතුවා.
මේ වැඩසටහනේ දි ඔහු කියන කතා කීපයක් ගැන තමයි ඒ හුඟාක් අය අහන්නෙ, බනින්නෙ.                ඒ, ප්‍රේමදාස, චන්ද්‍රිකා, විජය, රෝහණ කුමාර, තාර අජිත් වගෙ අය ගැන ඔහු කරපු කතා ගැන. ඒවා බොරු කියලා, මම කිව්වෙ නැත්තෙ ඇයි කියලයි ඔවුන් අහන්නෙ.
ඒ හැම කෙනාගෙම ප්‍රශ්නය, චතුරගෙ වයස. හුඟ දෙනෙක් නොදන්නවා වුණාට, අද ඔහුගෙ උපන් දිනය. පෙබරවාරි 20, 1982. ඒ කියන්නෙ ඔහුට දැන් අවුරුදු 35 ක්.
ප්‍රේමදාස ගැන ඔහු කියන්නෙ, ඔහු පාසලේ දි ප්‍රේමදාසට විරුද්ධව කතා කරපු නිසා තමන්ගෙ කනිෂ්ඨ ශිෂ්‍ය නායක කම ගැලෙව්වා කියලා. විජය, නළුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට ඔහු ප්‍රිය කරනවා. ඒ අතර, විජය, චන්ද්‍රිකා සහ රාජිත ( චතුරගෙ පියා ) පවුල් මිත්‍රයො, එකට දේශපාලනය කරපු අය. 1990 දශකය අවසාන භාගය වෙනකොට ත් නොරිස් කැනල් පාරෙ තිබුණු රාජිතලාගෙ ගෙදර ( හෝ කාර්යාලය ) ඒ වගෙ විවිධ දේශපාලන චරිත, නළු නිළියො සහ ප්‍රසිද්ධ තවත් අය නිතර යන එන තැනක්. විජය, චන්ද්‍රිකා චතුර ළමයා එහෙ මෙහෙ එක්ක ගියා කියන එක, ඒ අත්දැකීම් එදා ළමයෙක් විදිහට ලැබුවා කියලා ඔහු කියන එක අරුමයක් නෙවෙයි.
ඔය, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගැන කියන කතාවම ගන්න, ඒ පුද්ගලයත් සේනාරත්න පවුලෙ සමීප පුද්ගලයෙක්.
මේ ගැන මම මෙහෙම දන්නෙ, 1998 - 2000 අතර කාලය තුළ රාවයට වැඩකරද්දි ලබන සංකීර්ණ අත් දැකීම් නිසා. මම අවස්ථා දෙක තුනක දි, විවිධ මාධ්‍ය ක්‍රියාකරකම් සඳහා රාජිත මුණ ගැහෙන්න ඔහුගෙ නාරාහේන්පිට ගෙදරට ගිහිං තියෙනවා. ඒ කාලයෙදි ත් ඔහුට, වංචා සහ ජවිපෙ මර්දන 'ප්‍රා' ව්‍යපෘතියෙ කතා ටික ඈඳිලා තිබුණා. ඉතිං අපි අතර කොහොමත් සමීප සම්බන්ධයක් ගොඩ නැගුණෙ ම නැහැ.
ඒ දවස් වල චතුර උසස් පෙළ පන්තියෙ වෙන්න ඕන.
ඔහු ඉක්මනට අමුත්තන් සමඟ යාළු වෙන සුහද කෙනෙක්. ඉතාමත්ම කලබල සහ ක්‍රියාශීලී කෙනක්. ඔය කාලය සමස්තයක් විදිහට රාවයෙ අපි චන්ද්‍රිකා පාලනයට විරුද්ධව වීදි බැහැලා හිටියෙ. රාජිතත් වෙන පැත්තකින් චන්ද්‍රිකා එක්ක පටලවාගෙන හිටියෙ.
ඒ කාලය ගැන තමයි ඔය චතුර කියන්නෙ.
කියන විදිහ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවං ඔහු කියන්නෙ බොරු කියලා. ඔහු බොරු කියන්නෙ නැහැ කියන සහතිකය මට දෙන්න බැහැ, හැබැයි අතිශෝක්තිය සහ marketing ගතිය නං ඔහුට සෑහෙන්න තියෙනවා.
ඊට පස්සෙ, 2001 දි මම free ( පස්සෙ, 'නිදහස්' ) පටන් ගන්න අතරෙ, රටේ දේශපාලන බල පෙරළියක් වෙලා එක වෙලාවක රාජිතට ඇමති කමක් හම්බ වෙනවා. ඒ දවසක, මම 'නිදහස්' වෙනුවෙන්, ඔහුගෙම අමාත්‍යංශයෙ, ඔහුගෙම නිලධාරීන් ඉස්සරහා, ඔහු සම්මුඛ සාකච්ඡාවකට අරගෙන තද ට ප්‍රශ්න කරද්දි, හොඳටම යකා වැහිලා, අපේ තිබිච්ච සාමාන්‍ය සුහදත්වයත් නැති වුණා. ඊට පස්සෙ මට ඔවුන් මග හැරුණා. ආයෙත්, චතුර ව මුණ ගැහෙන්නෙ මේ Insight වැඩසටහනට, දෙරණ මැදිරියේ දි.
අතීත කතාව ඔන්න ඕකයි!
ඒ අනුව හුඟ දෙනෙක් චතුර ගැන කියන දේවල් නෙවෙයි වැදගත්. ඒවා සාමන්‍ය දේවල්. ඔහුගේ වාචාල කතා විලාශය සහ අතිශෝක්තිය නිසා තමයි කෙනෙකුට ඒ වගෙ දේවල් හිතෙන්නෙ.
ඔහු, චැනල් 9 සිද්ධියක් ගැන, රෝහණ කුමාර කෙනෙක් ගැන කියන කතා ''බරපතළ ඇත්ත'' කතා. චන්ද්‍රිකා, සනත් ගුණතිලක, ලක්‍ෂ්මන් හුළුගල්ල, රාජිත සේනාරත්න, රෝහණ කුමාර, බැද්දගානෙ සංජීව සහ තාර අජිත් සහ තවත් අය වටා ගෙතුණු ඒ අපරාධ කතාවෙ, එදා තමාත් ශිෂ්‍යයෙක් විදිහට හිටියා කියලා, චතුරම කියනකොට, නීතියක් තියෙන රටක නං මාර ප්‍රශ්නයක් එනවා.
අනෙක චන්ද්‍රිකාගෙ දුෂණ, වංචා සහ අපරාධ ලිපි ගොනු තමා ළඟ තියෙනවා කියලා කියන එක, වෙන්න පුළුවං දෙයක්. හේතුව, ඔහුගෙ තාත්තා රාජිත සේනාරත්න නිසා. චතුර මෙහෙම හැසිරෙන්නෙ, කොහොම ගත්තත්, දේශපාලනිකව නොමේරූ බව නිසාම වෙන්න ඕනෙ. 
ඒ අතර මේ Insight හරහා මතු වන වැදගත් ප්‍රශ්න, මෙන්න මෙහෙම පෙළ ගස්සවන්න ඕන නං අපට පුළුවං;
1. රාජපක්ෂ පාලනය ට එරෙහිව; චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල්, රාජිත සහ චතුර එකට එකතු වුණේ කාගෙ උපදෙස් මත ද?
2. අදාළ රාජ්‍ය නොවන සංවිධාන පවුර හැදුවෙ කවුද?
3. දෙමළ - මුස්ලිම් අන්තවාදී ශක්තිය ඔවුන්ට හැරවුණු මූලික දේශපාලන සිතියම කොහෙන්ද?
4. චතුර මේ කියන විදිහට, අදාළ මෙහෙයුමේ කොටසක් ලෙස, ජවිපෙ ට විශාල මුදලක් ලබා දුන්නා ද? ඒ කොපමණ ද? ඒ එකඟතාව තවම තියෙනවාද?
5. ඒ මුදල් ලැබුණේ ඉන්දියාවේ, ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවාවන් ගෙන් ද?
6. මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන්, මහේන්ද්‍රන්ලාට ආපිට එකතු කරගන්න ඉඩ හැදුවෙත් එසේ එදා වියදම් කළ මුදල් කන්දරාවෙන් එක කොටසක්  ද?මේ ගිණුම් අත් හිට වූ බව ඇත්තක් ද? මවා පෑමක් ද? මවා පෑමක් නං, ජනාධිපතිවරයා දැනුවත්ව ද? නැද්ද?
චතුර 'ඔහේ' ඉදිරිපත් කරන තොරතුරු හරහා අපි ගවේෂණය කරන්න ඕන මෙන්න මේ කලාපය. චතුර ට, කුණුහරුපෙන් බනින වේගයෙන්ම මේ කලාපයත් වැහෙන වග විතරක් මතක තියා ගන්න!
මිත්‍රවරුණි!
චතුර තව දුරටත් පොඩි එකෙක් නෙවෙයි, මේ කතාවත් පොඩි එකක් නෙවෙයි.
''අනේ මුං එකතු වෙලා අපේ අනුර සහෝදරයාට මඩ ගහනවා, ඒ සහෝදරයා සැලෙන්නෙ නැහැ!'' කියලා හිත හදා ගත්තොත් ඉතිං, මේ සියල්ලත් නොවිසඳුණු තවත් එක අතීත කතාවක්ම වේවි!
මේ රට ගොඩ ගන්න කාටවත් - කවදාවත් බැරි වෙන්නෙ මෙන්න මේ අඳුරු කලාප නිසා බවත් ඉතිහාස සාක්ෂිකාරයෙක් විදිහට මම මෙසේ සටහන් කරනවා!
CHAPA  
  

No comments:

Post a Comment