Monday, February 13, 2017

    මේ ඔබේ දවස ද?

ඒ කියන්නෙ ඔබත් ආදරවන්තයෙක්? හෝ ආදරවන්තියක්!
වැලන්ටයින් ආගමික සංඛේතය පැත්තකින් තියමුකො. ආදරවන්තයන්ට එක දවසක් ඇද්ද කියන පුරුදු කතාවත් පැත්තකට දාමු.
කොහොම කොහොම හරි අද දවස ගැන, වෙළෙඳාම සඳහා වුණත් ලොකය පුරාම තැන තැන 'ආදරය' ගැන උනන්දුවක් තියෙන නිසාම අපට, 'ආදරය' සහ 'ආදරවන්තයා' ගැන යම් සංවාදයක් පටන් ගන්න අද දවස හොඳයි.
'ආදරය' ගැන නං ඒ වුණාට, අපට මැරෙන තුරුම කතාකරන්න දේවල් තියෙනවා, මෙහෙම හිතන්න! ආදරය නිසා කෙනෙක් දුක් විඳින්න පුළුවං ද? මැරෙන්න, මරාගෙන මැරෙන්න? එහෙම පුළුවං ද? ඒත් එහෙම වෙනවනෙ, එදා මෙදා හැමදාම.
ඔයා මගේම නේද? කියලා ආදරයෙන් අහන ප්‍රශ්නය, පස්සෙ, ''උඹ මගේ - මම උඹේ!'' වෙලා, ''යමං!'' කියලා, දෙන්නම කෝච්චියට පනින තත්වයට එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා, පරෙස්සමෙන්, අනෙකාගෙ වෙන්න, හොඳේ! සමහර වෙලාවට, අදරවන්තයන්ගෙන් කෙනෙකුට තමන්ගෙ අනෙකා ගැන හිතෙන්න පුළුවං, ඔයා මට නැත්තං වෙන කාටවත් නැහැ!කියලා. ඒක එතකොට දරුණු සිතුවිල්ලක්. එහෙමනෙ ඔය මූණට ඇසිඩ් ගහන්නෙ, තුවාල කරන්නෙ, මරන්නෙ. ලැජ්ජා කරනවා වගෙ වෙන වෙන ප්‍රාථමික දුෂ්ට වැඩත් එතකොට සමහරු කරනවා. කොහොම හරි, ඔහොම ආදරයකුත් තියෙනවා.
ආදරවන්තයන්ගෙන් කණට කරලා කොඳුරලා ඇහුවොත්, ඔබ සතුටින් ද? කියලා, කීයෙන් කී දෙනෙක් 'ඔව්!' කියයිද? එතකොට ඔබ කියයි, එහෙම නැත්තං එයාලා ආදරවන්තයෝ නෙවෙයි කියලා. මේ කතාව එච්චරම සරල නැහැ.
ගැහැනු පිරිමි ආදරයත් මූලික වශයෙන් පදනම් වෙන්නෙ ලිංගිකත්වයට නිසාම, ඒ සමඟ, ඊර්ෂ්‍යාව, තරහා, වෛරය, අත්පත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, පළිගැනීම...වගෙ අමානුෂික සාධකත් ඉබේම පටලැවෙනවා. එය ඉතාම සාමාන්‍ය තත්වයක්. ඒ අතර මිනිස්සු සංස්කෘතික වීම නිසාම සත්ව ලෝකයේ අනිත් සත්තුන්ට නැති ප්‍රශ්න රාශියක් මිනිස්සුන්ට එනවා සහ ඒ නිසාම භයානක විදිහට 'ආදරය' කියන සාධකය මිනිස්සු මත බලපානවා.
අපි මේ සාකච්ඡාව කෙටි කරමු!
මොන විදිහට ආදරය කෙරුවත් වැඩක් නැහැ, ඒ තුළ තියෙන්නෙ දුකක්, කළකිරීමක්, පීඩාවක්, ආතතියක් නං..! X සහ Y අතර ආදරය නිසා දෙන්නම තුළ සතුටක්, සැනසීමක්, නිදහසක්...තියෙන්න ඕනෙ. X වෙනුවෙන් Y හෝ Y වෙනුවෙන් X සියල්ල දරාගෙන ඉන්න එක ආදරය නෙවෙයි. සාමාන්‍යයෙන් වෙන්නෙ එක්කෙනෙක් අනෙකා වෙනුවෙන් යම් දැරීමක් කරනවා. බැලූ බැල්මට ''හොඳ ආදරවන්තයො'' කියලත් පේනවා.
කල්පනා කරලා බලන්න!
දරය සාධාරණ වෙන්න ඕනෙ දෙන්නටම!
බලන්නකො ඉතිං මේ දවස ඔබේ කරගන්න පුළුවං ද කියලා!
ඔබට ආදරණීය දවසක්!
CHAPA  

No comments:

Post a Comment