Wednesday, February 8, 2017

  Help! Help!!


ඔබ කවදා හරි, කාට හරි උදව් කරන්න ගිහිං අමාරුවේ වැටිලා තියෙනවාද?
අනිවාර්යයෙන්ම, ඔබ ඔව්! කියාවි.
උදව් නැතුව කාටවත් පවතින්න බැහැ, අපි එකීනෙකාට උදව් කරගන්නම වෙනවා. උදව් කියනකොට එක එක විදිහෙ උදව් තියෙනවා. 'උදව්වක්' කියන වචනය යට තියෙනවා පොඩි නිදහස් ගතියක්, කරන්නත් පුළුවං නොකර ඉන්නත් පුළුවං. එකම දේ, උදව්වක් එක්ක කොන්දේසි දාගන්න හොඳ නැහැ, මම මේක කරන්නං, එතකොට ඔබ අරක කරන්න කියලා. ඒක එතකොට උදව්වක් වෙන්නෙ නැහැ.
හරියට බැලුවොත්, උදව්වක් කරලා පෙරළා යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
ඔබ කෙනෙකුට උදව් කරනවා, ඒ කෙනා වෙන කෙනෙකුට උදව් කරනවා, ඒ තුන් වැනි කෙනා හතර වැනි කෙනෙකුට...අන්න උදව්! එතකොට තමයි උදව්වට අරුතක් ලැබෙන්නෙ.
එකම දේ උදව්ව දෙන්න ඕනෙ අවශ්‍ය කෙනාට අවශ්‍ය වෙලාවට. එතකොට ලෝකය ඉබේම ලස්සන වෙනවා.
හැබැයි, දැන් තියෙන තත්වය අනුව, උදව් කරන්න යන කෙනා අමාරුවෙ වැටෙන අවස්ථා වැඩියි තමයි. සමාජය තුළ එහෙම කඩා වැටීමක් තියෙනවා. කෙනෙක් උදව් කරනකොට, මෙයා මට මේක කරන්නම ඕනෙ! කියලා අනිත් එක්කෙනා හිතන්නත් ඉඩ තියෙනවා. එක පාරක් උදව් කරලා දෙවැනි පාර උදව් නොකෙරුවොත් තරහා වෙන අයත් ඉන්නවා. එතකොට, අර මුල් කෙනාට හිතෙනවා, අපරාදෙ මම මෙයාට අර උදව්ව කෙරුවෙ කියලා.
කව්රුහරි උදව්වක් කරන්න ඉදිරිපත්වෙනකොට, ඒ උදව්ව ලබන්න නියමිත කෙනාට හිතෙන්න පුළුවං, මෙයා මොකක් හරි මගෙන් වාසියක් ගන්න තමයි මේ හදන්නෙ කියලා. එහෙම සැකයකට භාජනය වන එක හරිම අපරාධයක්.
තවත් පැත්තක්. ඔබ කෙනෙකුට කරන උදව්වක්, දැන හෝ නොදැන ඒ පුද්ගලයාට හානියක් වෙන වෙලාවලුත් තියෙනවා. උදාහරණයක් විදිහට, ඔබේ අවංක උදව්වක් නිසා කෙනෙකුගෙ පවුලක් කඩා ඉහිරෙන්න පුළුවං, ජීවිතයක් නැතිවෙන්නත් පුළුවං සමහරවිට.
උදව්ව් කරන්න, හැබැයි ටිකක් පරිස්සමට!
උදව්වකින් තෘප්තිය සහ සතුට හැර කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා!
CHAPA

No comments:

Post a Comment