Friday, February 17, 2017

  ඔබ, අනුන්ට වදයක් නෙවෙයි නෙ?


''අය්යෝ...ඔයා මහා වදයක්!''
ඔබට කවුරු හරි කවදා හරි එහෙම කියලා තියෙනවා ද?
ඔබ? ඔබ කාට හරි එහෙම කියලා තියෙනවා ද?
අපි හැමෝම ආසයි නිදහසේ ඉන්න, සැනසීමෙන් ඉන්න, එහෙම නේද?
ඒත් ඒ අතර කෙනෙක් අනිත් කෙනෙකුට වදයක් වෙනවා නං? අන්න එතැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.
ගෙවල් ඇතුළෙ මේ තත්වය වැඩියි.
අම්මලා තාත්තලා ලමයින්ට. ළමයි, අම්මලා තාත්තලාට, ආච්චිලා සීයලා වෙනම. තවත් නෑදෑයො. එළි පිට කියන්නත් බැහැ සමහර වෙලාවට.
නෑදෑයෙක් ඇවිල්ලා ගේ අපිරිසිදු කරනවා. එක්කො අහළ පහළ ගෙවල් වල ඇවිදින්න ගිහිං ප්‍රශ්න ඇති කරනවා.
හිතන්න සරල දෙයක්.
ළමයි හයියෙන් කෑ ගහමින් සින්දු කියනවා සීයාට නිදා ගන්න බැරි වෙන්න. ආච්චි මහා හයියෙන් රේඩියෝ බණ අහනවා, ළමයින් ට පාඩම් කරන්න බැරි වෙන්න. තාත්තා සාදයකට ගිහිං බීලා බීලා විනෝද වෙලා, ගෙදර ඇවිත් අනිත් අයට වදයක් වුණොත්? කොච්චර අසාධාරණ ද?
විශේෂයෙන්ම ඔබ අසනීප වුණොත්, අනිත් අයට වදයක් නොවෙන්න වග බලා ගන්නම ඕනෙ.
ඊළඟට අසල් වාසියො. යාළු මිත්‍රයො. ඒ තියා, ප්‍රේමවන්තයොත් එකිනෙකාට වදයක් වෙන වෙලාවල් තියෙනවා.
ඔය පළි ගන්න හිතෙනකොටත් වදයක් වෙන්න හැසිරෙන අය ඉන්නවා.
''හිටපං කො උඹට යහතින් ඉන්න දෙන්නං කො!'' කියලා හිතලා වදයක් වෙන අයත් ඉන්නවා අප අතර.
මඟ තොට යන එන මිනිස්සු?
සමහරු හැසිරෙන්නෙ මුළු සමාජයටම වදයක් වෙන විදිහට.
කෙනෙක් අනෙකාට වදයක් වෙන විදිහ, මෙහෙමයි කියලා කියන්න බැහැ. ඒක, එක එක විදිහයි.
කෙනෙකුගෙ ආදරයත් අනෙකාට වදයක් වෙන වෙලාවල් තියෙනවා.
නිකං ඉන්න ගමන් හිතන්නකො, කවුද ඔබට වදයක් වෙන්නෙ? කියලා. හැබැයි, ඇත්තටම වැඩියෙන් හිතන්න ඕනෙ, මම කාටද වදයක් වෙන්නෙ කියලා.
හ්ම්...එහෙම නං වදයක් නොවී, මේ කතාවත් දැනට නවත්වන් නං, හැබැයි, ඔබත් කාටවත් වදයක් නොවෙන්න වග බලා ගන්න!
අද ලස්සන අලුත් දවසක් නෙ! නේද?
CHAPA

No comments:

Post a Comment