Wednesday, February 8, 2017

Media...
සංවාද තුළ සංවාදයක්!

ලෝකය පුරාම, රුපවාහිනී සහ රේඩියො සංවාද ජනප්‍රියයි. මුද්‍රිත මාධ්‍යවලට වඩා ඒවා සජීව නිසාත් එහෙම වෙනවා ඇති. විශේෂයෙන්ම දේශපාලන වැඩසටහන්. මේ වෙනකොට ලෝකය පුරා විහිදෙමින් තියෙන අන්තර්ජාලය නිසාත් ඒ සංවාද අවකාශය පුළුල් වෙලා.
ලංකාව ගත්තොත්, අපේ විවිධ රුපවාහිනී සහ රේඩියෝ නාලිකා හරහා ඒ වගෙ සංවාද ගණනාවක් පැවැත්වෙනවා, විවිධ නම් වලින්. 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයට, ඒ වගේ දේශපාලන සංවාද මගින් විශාල ජන ආකර්ශනයක් ලැබුණු බවත් අපි දන්නවා.
හරියට බැලුවොත්, Rating ඇතුළු ඒ ඒ මාධ්‍ය ආයතන සීමාවන් එහෙම ම තියෙද්දිත් මේ සංවාද අවකාශය තව පළල් කරන්න පුළුවං. ප්‍රශ්නය තියෙන්නෙ අදාළ වැඩසටහන් නිෂ්පාදකවරු සහ ඉදිරිපත්කරන්නං කොච්චර ඒ සඳහා සුදානම්ද කියන එක.
දැනට තියෙන පොදු තත්වය අනුව, ලංකාව තුළ උගතුන්ගෙ, බුද්ධිමතුන්ගෙ සහ වෘත්තිකයන්ගෙ ලොකු ප්‍රශ්නයකුත් තියෙනවා. වෙන වෙන පුද්ගලික අඩු පාඩු සහ දේශපාලන න්‍යායපත්‍ර පැත්තකටම දැම්මත්, ඒ ඒ විෂයයන්ට අදාළ දැනුම දියුණු කරගන්න ඒ බොහෝ දෙනෙක් උනන්දු නැහැ. ඒ සමහරු, දැන් ඉතිං  මම 'අහවලා' නිසා මම හැම දේම පරතෙරට දන්නවා කියලා හිතාගෙන නැවතිලා. අනිත් අය කම්මැලි වෙලා. ඔය අතර විෂය දැනුම හොඳට අරගෙන games play කරන කට්ටියක් වෙනම ඉන්නවා. ඔවුන් හැමෝම වගෙ NGO agents ලා. හැම ආණ්ඩුවක් පිටිපස්සෙම සහ ආණ්ඩු වට්ටන වැඩවලදීත් ඔවුන් ලොකු වැඩ කොටසක් ඉටුකරනවා. Regime Change ව්‍යාපෘතිවලදී ඒ වගේ අයට ලොකු මිලකුත් ලැබෙනවා.
ඊට අමතරව අපට ඉන්න දේශපාලන නියෝජිතයන්ගෙ තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.
ඉතිං මේ කට්ටියත් එක්කනෙ අර කියන දේශපාලන සංවාද කරන්න වෙන්නෙ.
එතකොට වැඩසටහන් නිෂ්පාදකවරු සහ ඒවා ඉදිරිපත් කරන්නං හොඳට home work කරලා සුදානම් වෙන්න ඕනෙ. නැත්තං නොදැනම එක එක්කෙනාට කඩේ යන්න වෙනවා. වැරදි තොරතුරු සහ ඒවා මත පදනම් වුණු විකාර මත සමාජ ගත කිරීමේ ඓතිහාසික අපරාධයට කර ගැහුවා වෙනවා, විශේෂයෙන්ම වඩා තරුණ පරම්පරාව නොමග යැවුවොත්, ඒ වරද නං කවදාවත් හදාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් රුපවාහිනී වැඩසටහනකට ඇවිත් මාක්ස්වාදයට අදාළ යම් දැනුම් කොටසක් වැරදියට ඉදිරිපත් කරනවා, එතැන ඉන්න අනෙක් සාමාජිකයන්ටත් ඒ බව තේරුම් ගන්න බැහැ කියලා මොහොතකට හිතමු. ඒ නිසාම ඊට එරෙහිව වෙන අදහසක් ඉදිරිපත් වෙන්නෙ නැහැනෙ. එහෙම නං නිෂ්පාදකවරයාට සහ ඉදිරිපත්කරන්නාට ඒ අඩුව ( gap - පරතරය ) දැනෙන්න ඕනෙ. එතකොට ඒ බව ප්‍රේක්ෂකයාට දැනෙන්න අරින්න ඔවුන්ට පුළුවං. ඔවුන්ටත් ඒ බව තේරෙන්නෙ නැත්තං ලොකු වරදක් සහ අසාධාරණයක් සිද්ධවෙනවා, වැඩසටහන බලන අහන අයට.
ඒ වගේම, යම් තොරතුරක්, අදහසක් හෝ මතයක් ඉදිද්රිපත් කරන්නෙක්, ඒ සම්බන්ධයෙන් ඊට පෙර කියලා තියෙන්නෙ මොනවද කියලත් වැඩසටහන කරන අය දැනගෙන ඉන්න ඕනෙ, අඩුම තරමෙ තමන්ගෙ වැඩසටහන තුළදිවත්. දැන් තියන විදිහට, එකම පුද්ගලයාට, මේ සතියෙ ඇවිත්, එක දෙයක් කියලා, ඒ වැඩසටහනටම ඊළඟ සතියෙ නැවත ඇවිත් ඊට පරස්පර දෙයකුත් කියන්න පුළුවං. උදාහරණයක් විදිහට, මේ සතියෙ දේශීය ආර්ථිකය ගොඩනගන හැටි කියලා, ඊළඟ සතියෙදි, ජාත්‍යන්තර මුල්‍ය ඒජන්සීස්වල, රටේ ආර්ථිකය ඉවර කරන ප්‍රතිසංස්කරණ සඳහාත් පෙනී හිටින්න පුළුවං. එහෙම කරන අය දන්නවා ''මේ වැඩසටහන කරන අයට මේක නං කවදාවත් අහුවෙන්නෙ නැහැ!'' කියලා.
ඔය දේශපාලන සංවාදවලට එන අයගෙ මතවාදීමය ඉතිහාසය වගේම ක්‍රියාකාරකම් පිළිබඳ ඉතිහාසයත් අතිශය වැදගත්. ඒ ගැන විද්වත් හැදෑරීමක් නැතුව වැඩසටහනක් සාර්ථකව කරන්නෙ කොහොමද?
හිතන්න! කෙනෙක් ඇවිත් කියනවා, මේ රටේ සියළු ජන කොටස් එකතු කරන්න ඕනෙ, වෘත්තිකයන් සහ වෘත්තීය සමිති සමාගම් ඒකාබද්ධ කරන්න ඕනෙ, ඒ හරහා නව ජනතා බලවේගයක් ගොඩනගන්න ඕනෙ! කියලා. එතකොට නිකං මාරු වගේනෙ!
අපි හිතමු ඒ පුද්ගලයා එහෙම කියන්නෙ, ලෝක බැංකු ව්‍යාපෘතියකට අවශ්‍ය පසුබිමක් රට තුළ හදන්න නං, ඇතිවන තත්වය කොහොමද? කෙනෙක් එතකොට අහන්න පුළුවං, අපි ලෝක බැංකුවට කැමතියි, ඒ නිසා මොකද්ද ප්‍රශ්නය කියලා! ප්‍රශ්නය තමයි අන්න ඒ ලෝක බැංකු සම්බන්ධතාව පිළිබඳ තොරතුර ජනතාගත නොවීම. එහෙම ඇත්ත තොරතුර ජනතාගත වුණොත්, ඒකට කැමති කට්ටිය සහයෝගය දෙයි, හැබැයි කවුරුවත් රැවටෙන්නෙ නැහැ.
මෙය, ජනමාධ්‍ය අනිවාර්ය වගකීමක්!
දැන් වෙන්නෙ එහෙම නෙවෙයි. NGO කොන්ත්‍රාත්කරුවො සැලකිය යුතු ප්‍රමාණයක්, ඩොලර් වැටුප් සහ වෙනත් වරදාන ලබමින් ජනමාධ්‍ය ආයතන අරා හිටගෙන ඉන්නවා ''මාර සමාජ ක්‍රියාකාරිකයො'' විදිහට. වැඩසටහන කරන අය දන්නෙ නැහැ, අහවල් පුද්ගලයා, අහවල් අහවල් ආයතන වල, අහවල් අහවල් තනතුරු දරන බවවත්. එතකොට සිද්ධවෙන වැරැද්ද කොච්චර බරපතළ ද?
මේ අනුව යම් වැඩසටහනක් නිෂ්පාදනය කරන සහ ඉදිරිපත්කරන කෙනෙක් කොච්චර අවංක සහ හිත හොඳ වුණත් වැඩක් නැහැ, මෙන්න මේ දේශපාලන යථාර්ථය ග්‍රහණය කරගන්නෙ නැත්තං.
මේ සටහන තියන්න හිතුවෙ ජනප්‍රිය මාධ්‍යයකට සම්බන්ධ නිෂ්පාදක මිත්‍රයෙක් එක්ක, ටිකකට කලින් හදිසියෙ ඇතිවෙච්ච කතාබහකදි, ඔහුට පැහැදිලි කරන්න උත්සහ කරපු දේ ඉතිහාසයට එකතු කරන්න.
ඒ අතරෙ අපි උත්සහ කරමු, සංවාදය ඇතුළෙ සංවාදයක් ගොඩනගා ගන්න!
සංවාද තුළ සංවාදයක්!
CHAPA
    

No comments:

Post a Comment